ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම: "සී ෂෙල්ස් දූපත්වලට කේරළ ගංජා ප්‍රවාහනය සඳහා ධීවරයන් යොදාගෙන"

මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන එමින් තිබූ බහුදින යාත්‍රාවක් අත් අඩංගුවට ගත් බව ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරේ නිලධාරීහු පවසති.

දික්ඕවිට ධීවර වරායෙන් මුහුදු ගිය, හලාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට අයත් "ඕෂන් ස්කයි" නමැති මෙම යාත්‍රාවේ මත්ද්‍රව්‍ය තොගයක් ඇති බවට ලැබුන තොරතුරක් අනුව නාවික හමුදාවේ නිලධාරින් බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 31) උදෑසන ගාල්ල වරාය ආසන්න මුහුදේ දී යාත්‍රාවේ ගමන් මග හරස් කොට එය වරාය වෙත රැගෙන ඒමට උත්සහ කර තිබේ.

එම අවස්ථාවේ යාත්‍රාව කෙළින්ම ගොඩ බිම දෙසට ධාවනය කොට ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය ආසන්නයේ රත්ගම වැල්ලේ නතර කර තිබේ. එවිට යාත්‍රාව වැල්ලේ එරී නතරව ඇති අතර ඒ සමගම එහි ස්කිපර්වරයා පලා ගොස් ඇත.

බලධාරීන් පවසන්නේ, එහි සිටි සිව් දෙනෙකු නාවික හමුදා සෙබළුන් විසින් අත් අඩංගුවට ගනු ලැබූ අතර පලාගිය ස්කිපර්වරයා ගන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් යයි හඳුනාගෙන ඇති බවය.

'අයිස්' නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් පහකට අධික ප්‍රමාණයක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් දෙකක් යාත්‍රාවේ තිබී සොයාගනු ලැබූ බව ද ආරක්ෂක අංශ පැවසීය. වැඩිදුර පරීක්ෂණ පිණිස සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට භාර දී තිබේ.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට 'ධීවරයන් යොදාගෙන'

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සිය මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ධීවරයන් යොදා ගනු ලබන බවට මීට ඉහතදී ද වරින්වර සාක්ෂි හමු වී තිබේ.

හොරොයින් සහ හෂීස් කුඩා ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි බහුදින යාත්‍රාවක් පසුගිය අගෝස්තු මාසයේ ගාල්ලේ නාවික හමුදා සෙබළුන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණ.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමෙන් අනතුරුව එම යාත්‍රාව වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදි දැල් අතර සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 84කට අධික පුමාණයක් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් පසුගිය අගෝස්තු 18 දින සොයාගනු ලැබිණ.

අගෝස්තු 7 වෙනි දින මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගොස් ඇති 'නෙත්සර' නමැති එම ධීවර යාත්‍රාව මුහුදේ මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා නිලධාරින් විසින් පරීක්ෂා කළ අවස්ථාවේ හෙරොයින් මිලි ග්‍රෑම් 300ක් සහ හෂීස් මිලි ග්‍රැම් 300ක් සන්තකයේ තබාගෙන සිටි ස්කිපර්වරයා අත් අඩංගුවට ගනු ලැබිණ.

ශ්‍රී ලංකාවට අයත් දකුණු මුහුදු තීරයේදී කිලෝග්‍රෑම් 200 කට අධික වූ හෙරොයින් බවට සැක කෙරෙන නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් පසුගිය නොවැම්බර් 03 වෙනි දින නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගන්නා ලදි.

නාවික හමුදාව ගාල්ලට නුදුරු මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් අතරතුර සැක කටයුතු බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර එය පරික්‍ෂාවට ලක් කර තිබේ. එහිදී අදාළ මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමෙන් අනතුරුව යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයන් 05 දෙනෙකු ද අත්අඩංගුවට ‍ගනු ලැබිණ.

'සී ෂෙල්ස් දූපත්වලට ගංජා ජාවාරමක්'

ධීවරයන් ඈත මුහුදේදි සී ෂෙල්ස් දූපතේ සිට පැමිණෙන බෝට්ටුවලට ගංජා පටවා එම බෝට්ටුවලින් ගෙන එනු ලබන වෙනත් මත්ද්‍රව්‍ය බහුදින යාත්‍රාවලට පටවාගෙන එන බවත් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි බලධාරීහු පවසති.

පසුගිය වසරේ බහුදින යාත්‍රාවකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටියදී නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකාර ධීවරයින් හය දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල නියෝග කළේය.

2019 දෙසැම්බර් 6 වෙනි දින බේරුවල ධීවර වරායෙන් මුහුදු ගොස් ඇති ඔවුන් පසුදින ගාල්ල මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් පරීක්ෂා කොට තිබේ. එහිදී යාත්‍රාව තුළ තිබී පාර්සල් 9ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 15ක් සමඟ අත් අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය.

පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ සැකකාර ධීවරයින් මෙම ගංජා තොගය සී ෂෙල්ස් දූපත්වලට ප්‍රවාහනය කරමින් තිබී ඇති බවය.

මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් සඳහා ඉතා ඉහළ ජාත්‍යන්තර සහයෝගයක් තමන් වෙත ලැබෙන බව පවසන ශ්‍රී ලංකා නාවික හමුදාව ඒ හේතුවෙන් ඉතාමත් පුළුල් ලෙස මෙහෙයුම් දියත් කරමින් සාර්ථක වැටලීම් සිදුකිරීමට හැකි වී තිබෙන බවත් සඳහන් කරයි.

කියවන්න:

මාකඳුරේ මධූෂ් හෙළි කළ දේශපාලකයන් කවුද?

බොහෝ දේශපාලන නායකයන් ද ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට දේශපාලකයන් මෙන්ම පොලිසිය ද සඳහන් කර තිබේ.

"සංවිධානාත්මක අපරාධකරුවෙකු" ලෙසින් පොලිසිය විසින් හඳුන්වනු ලැබූ සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ්, ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලනඥයන් 80 කගේ පමණ විස්තර හෙළි කරන ලද බව පොලිසිය මීට ඉහතදී පැවසීය.

ඉන් අනතුරුව, ඔක්තෝබර් 20 වෙනි දින පොලිසිය පැවසුවේ, "සඟවා තිබූ කුඩු කිලෝ 22ක් පෙන්වීමට" මාළිගාවත්ත නිවාස සංකීර්ණයකට රැගෙන ගිය අවස්ථාවේදී ඇතිවූ වෙඩි හුමාරුවකදී ඔහු මරුමුවට පත් වූ බවය.

කෙසේ වුවත් ඔහු ඝාතනයට ලක්වීමට පෙර එසේ හෙළි කරන ලද මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලකයන්ගේ නම් කවරේ ද සහ ඔවුන්ට එරෙහිව පරීක්ෂණ පවත්වන්නේ ද යන්න විමසමින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දීම පොලිසිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබිණ.

මාකඳුරේ මධුෂ්ගේ ඝාතනය සම්බන්ධ ප්‍රගතිය කවරක් ද යන්න පිළිබඳව ද පොලිසිය මෙතෙක් හෙළි කොට නැත.

පොලිස් නිලධාරීනුත් අත්අඩංගුවේ

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූ බවට පොලිස් නිලධාරීන්ට එරෙහිව ද චෝදනා එල්ල වී තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධවීමේ චෝදනාව මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කරන පොලිස් නිලධාරීන් පිරිසක් ද අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන බව පසුගියදා පොලිසිය නිවේදනය කළේය.

ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න කියා සිටියේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කරන සහ සේවය කළ සියලුම නිලධාරීන්ගේ වත්කම් පිළිබඳ වහාම පූර්ණ විමර්ශනයක් (Asset investigation) පැවැත්විය යුතු බවය.

මෑතදී විශ්‍රාම ලැබූ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨම රහස් පරීක්ෂකවරයෙකු සහ කාර්යාංශයේ හිටපු ප්‍රධානියෙකු ද වන ඔහු පවසන්නේ, ඕනෑම නිලධාරියෙකු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කරන උපරිම කාලය වසරකට සීමා කළ යුතු බවය.

මත්ද්‍රව්‍ය මැඩලීමේ නාමයෙන් කිසියම් පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදීම හෝ එයට අනුබල දීම කලක් මුළුල්ලේ සිදු වූ බවට චෝදනා කරන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න, එබැවින් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සියලුම අධ්‍යක්ෂවරුන්ගේ සහ කාර්යාංශය භාරව සිටි සියලු නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ විශේෂ විමර්ශනයක් පැවැත්විය යුතු බව ද අවධාරණය කළේය.

කියවන්න: