වේලු පාප්පානි: 117 වැනි වියේ පසුවූ ශ්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාව සමුගනියි

වීඩියෝ ශීර්ෂ වැකිය, 117 වැනි වියේ පසුවූ ශ්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාව 'වේලු පාප්පානි'

කළුතර දිස්ත්‍රික්කයේ, දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ක්ලෝඩන් වත්තේ හෙදරලිය කොටසේ වාසය කළ ශ්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාව වූ වේලු පාප්පානි මාතාව දිවි සැරිය නිම කළ බව ඇය රැක බලාගත් එන් තංගයියා බීබීසී සිංහල සේවයට පැවසීය.

ආහාර ගැනීමේ දුෂ්කරතාවක් හේතුවෙන් දෙසැම්බර් 29 වෙනි දින උදය වරුවේ නාගොඩ රෝහලට ඇතුළත් කරනු ලැබූ ඇය, රාත්‍රී හතට පමණ සිය ජීවිත චාරිකාව අවසන් කොට තිබේ.

ජාතික හැඳුනුම්පතේ සහ වැඩිහිටියන් සඳහා රජයෙන් නිකුත් කරන හැඳුනුම්පතේ සඳහන් ආකාරයට 1903 මැයි 03 වැනිදා ඇය උපත ලබා තිබේ.

ඇය ලංකාවේ වයස්ගතම මාතාව බව සඳහන් කරමින්, වැඩිහිටියන් සඳහා වූ ජාතික සභාවේ ලේකම්වරයාගේ සහ සභාපතිගේ අත්සනින් යුතුව 2019 ඔක්තෝම්බර් 01 දා ජාත්‍යන්තර වැඩිහිටි දිනයේදී වේලු පාප්පානි වෙත සහතිකයක් ද පිරිනමා ඇත.

ඉහත දැක්වෙන්නේ මීට සති කිහිපයකට ඉහතදී ඇය සමඟ කරන ලද සංවාදයක් ඇසුරෙන් සම්පාදනය කළවීඩියෝ පටයකි.

සම්පාදනය/ පටිගත කිරීම/ සංස්කරණය: ෂර්ලි උපුල් කුමාර

කියවන්න: