සනීපාරක්ෂක තුවා භාවිතය: ශ්‍රී ලංකාව බදු ඉහළ නංවද්දී ස්කොට්ලන්තය 'පෑඩ්' නොමිලේ දෙයි

2018 වසරේ ඔසප් සනීපාරක්ෂක දිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ කොළඹ කාර්යාලය පවත්වන ලද වැඩසටහනකට එක්වූ තරුණියන්

ඡායාරූප මූලාශ්‍රය, UNFPA

    • Author, සුනෙත් පෙරේරා
    • Role, BBC සිංහල

2019 ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර කාන්තා සනීපාරක්ෂක තුවා සම්බන්ධයෙන් මතු වූ සංවාදය මේ වන විට යළි කරලියට පැමිණ තිබේ.

එම සංවාදය සමාජ ජාල තුළ යළි උණුසුම් මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ආණ්ඩුව විසින් ආනයනික කාන්තා සනීපාරක්ෂක තුවා මත අලුතින් බද්දක් පනවනු ලැබ ඇති බවට එල්ල වන චෝදනාවත් සමගය. ආණ්ඩුව පවසන්නේ සනීපාරක්ෂක තුවා සඳහා තිබුණු 30% වැට් බද්ද 15% දක්වා අඩු කර ඒ වෙනුවට, ඒ හා සමාන ප්‍රතිශතයකින් සෙස් බද්දක් පනවා ඇති බවය. එබැවින් ආනයනික කාන්තා සනීපාරක්ෂක තුවාවල මිලෙහි සැලකිය යුතු වෙනසක් සිදු නොවන බව ඔවුන්ගේ තර්කය වී තිබේ.

කරුණු එසේ තිබියදී සනීපාරක්ෂක තුවා සඳහා සහන මිලක් හඳුන්වා දෙනවා වෙනුවට ශ්‍රී ලංකාව ඒ මත "විශාල බද්දක්" පනවා ඇති බව ඇතැම් ක්‍රියාකාරිනියෝ පෙන්වා දෙති.

"සනීපාරක්ෂක තුවා මත අදටත් 51% ක බද්දක් පැනවෙනවා. සනීපාරක්ෂක තුවා කියන්නේ සුඛෝපභෝගී භාණ්ඩයක් නෙමෙයි, අත්‍යවශ්‍ය භාණ්ඩයක්. තමන් කැමති සන්නාමයකින් සනීපාරක්ෂක තුවා තෝරාගන්න කාන්තාවකට අයිතිය තිබෙනවා. ලංකාවෙ නිශ්පාදිත මිල අඩු සන්නාමයන් තිබුණත්, ආනයනික සනීපාරක්ෂක තුවා වර්ග බොහොමයක් ඊට වඩා සැපපහසුයි. උරාගැනීම වැඩි නිසා වැඩි වේලාවක් අඳින්නට හැකියි. රටේ සනීපාරක්ෂක තුවා නිෂ්පාදන දියුණු කිරීම, සනීපාරක්ෂක තුවා අඳින කාන්තාවන්ගේ වැඩක් නෙවෙයි. රටේ නිෂ්පාදන රැකීමට ගහනා බදුවලින් ඔවුන් පීඩාවට පත්විය යුතු නැහැ." යනුවෙන් ෆේස්බුක් හි සටහනක් තබමින් අමන්දා අබේසූරිය සඳහන් කර තිබිණි.

කාන්තාවන්ට ඔසප් දිනයන්හි නිවාඩු හෝ සහන ලබා දීමට ලොව ඇතැම් රටවල් මේ වන විටත් පියවර ගනිමින් සිටිති. මේ අතර ශ්‍රී ලංකාව තුළ සනීපාරක්ෂක තුවා භාවිතය සහ ඒවායේ මිල සම්බන්ධයෙන් සංවාදයක් මතුව ඇත්තේ එම නිෂ්පාදන භාවිතය දිරි ගැන්වීමට ලොව බොහෝ රටවල් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති පසුබිමකදීය.

උදාහරණයක් වශයෙන් ඔසප් දිනයන්හි භාවිතයට ගැනෙන සියලූම නිෂ්පාදන නොමිලේ ලබා දීම සඳහා වූ පනත් කෙටුම්පත අඟහරුවාදා (නොවැම්බර් 24) ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත විය. ඒ අනුව ලොව සනීපාරක්ෂක තුවා ඇතුළු ඔසප් දිනයන්හි භාවිතයට ගැනෙන සියලුම නිෂ්පාදන නොමිලේ ලබා දෙන පළමු රට ලෙස ස්කොට්ලන්තය ඉතිහාස ගත වෙයි.

පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකාව සහ කලාපයේ රටවල ඔසප් වීම සහ කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතය සම්බන්ධයෙන් කෙරුණු කෙටි විමසුමකි.

ශ්‍රී ලංකාවේ පාසල්

A Sri Lankan boy drinks water from a roadside tap in a slum of Colombo on March 22, 2009. As the nation commemorates UN Water Day, the government urged people to use water carefull
Getty
ශ්‍රී ලංකාවේ පාසල්වලින්

  • 88% කට ජලය ලබා දී ඇත. (මූලාශ්‍ර: අධ්‍යාපන අමාත්‍යංශය 2017)

  • 98% ක සනීපාරක්ෂක පහසුකම් ඇත. (මූලාශ්‍ර: අධ්‍යාපන අමාත්‍යංශය 2017)

  • වැසිකිලි එකකට දැරියන් (මූලාශ්‍ර: අධ්‍යාපන අමාත්‍යංශය 2010)1:66

මූලාශ්‍ර: අධ්‍යාපන අමාත්‍යංශය, පාසල් පෝෂණ සහ සෞඛ්‍ය සමීක්ෂණය

දකුණු ආසියාවේ පාසල් තුළ ඔසප් සනීපාරක්ෂක කළමනාකරණය සම්බන්ධයෙන් වෝටර්ඒඩ් (WaterAid) සහ යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ වාර්තාවකට අනුව:

දුගීභාවය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දැරියන් වැඩි දෙනෙක් සනීපාරක්ෂක තුවා වෙනුවට ඒ සඳහා රෙදිකඩක් භාවිත කරති.

ශ්‍රී ලංකාව තුළ පාසල් දැරියන් සඳහා වෙන ම වැසිකිළි පැවතියත් සනීපාරක්ෂක තුවා ඇතුළු ඒ සඳහා යොදා ගනු ලබන දේ මාරු කිරීම සඳහා වැසිකිළි භාවිත කරන්නේ 34% ක් පමණක් බව වාර්තා වේ. ඔසප් කාලය තුළ දෙමව්පියන්ගෙන් 60% ක් සිය දියණියන් පාසල් නොයවති.

මිථ්‍යාව සහ තහනම් මාතෘකා

Sri Lanka school girls
Getty
යොවුන් දැරියන් 720 ක් සහ ගුරුවරියන් 282 ක් යොදා ගත් සමීක්ෂණයකින් හෙළි වූ කරුණු:

  • ගුරුවරියන්ගෙන් 60% කවිශ්වාසය වී ඇත්තේ ඔසප් රුධිරය

  • අපිරිසිදු බවය.

  • 66%ක් සිසුවියන් වැඩිවියට පත් වන තෙක් ඔසප් වීම පිළිබඳ දැන සිට නැත.

මුලාශ්‍ර: වෝටර්ඒඩ් (WaterAid) සහ යුනිසෙෆ් සංවිධානය 2015

සිංහල සහ හින්දු චාරිත්‍ර අනුව ගැහැණු දරුවෙකු වැඩිවියට පත් වීම පවුලේ සමීපතමයන් පමණක් නොව අසල්වැසියන්ට ද රහසක් නොවන්නේ එකී ස්වභාවික සංසිද්ධිය උත්සවාකාරයෙන් සමරනු ලබන නිසාය.

නමුත් ඔසප් වීම, සනීපාරක්ෂාව, උපත් පාලනය වැනි ලිංගික අධ්‍යාපනයට ඇතුළත් වන බොහෝ කරුණු ශ්‍රී ලංකාව මෙන්ම අසල්වැසි රටවල ද තහනම් මාතෘකා (Taboo) බවට පත්ව ඇත.

ඔසප් රුධිර පැල්ලමක් දැක කෝපයට පත් ගුරුවරියකගේ අපහාස කිරීම් නිසා සිත් තැවුලට පත් දැරියක් සියදිවි හානි කර ගැනීමේ පුවතක් 2017 වසරේදී දකුණු ඉන්දියාවෙන් වාර්තා විය.

එමෙන්ම කෙදිනක හෝ කාන්තාවන්ගේ ශාරීරික පවිත්‍රතාව මැන බැලිය හැකි උපකරණයක් සොයා ගතහොත් පමණක් සිය කෝවිලට ඇතුළු වීම සඳහා කාන්තාවන්ට අවසර දෙන බවට කේරළයේ සබරිමලෙයි කෝවිලේ ප්‍රධාන පරිපාලකයා කළ ප්‍රකාශයක් 2015 වසරේදී දැඩි ආන්දෝලනයකට ලක් විය.

ඔසප් සමයේ භාවිත කෙරෙන සනීපාරක්ෂක ක්‍රමවේද සම්බන්ධයෙන් පවතින ඉහත කී ආකාරයේ ආකල්ප ශ්‍රී ලංකාවට පමණක් නොව කලාපයේ සෙසු රටවලට ද පොදු බව වාර්තා දෙස බැලීමේදී පෙනී යයි.

ඒ හා සබැඳි සම්මතයන් සහ මිථ්‍යා මෙන්ම එය සමාජය තුළ තහනම් මාතෘකාවක් වීම නිසා දැරියන්ගේ පාසල් පැමිණීමට බලපෑම් එල්ල වන බවත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් සීමා වන බවත් වෝටර්ඒඩ් (WaterAid) සහ යුනිසෙෆ් සංවිධානය කළ අධ්‍යනයකින් හෙළි වී ඇත.

ඔසප් වීම සහ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් පවතින දැනුම, ආකල්ප සහ භාවිතය පිළිබඳ සොයා බැලීම සඳහා කළුතර දිස්ත්‍රික්කයට අයත් යොවුන් දැරියන් 720 දෙනෙකු සහ ගුරුවරියන් 282 දෙනෙකු යොදා ගනු ලැබ ඇත්තේ 2015 වසරේදීය.

women periods

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "නෑමෙන් වැළකී සිටිය යුතු බව ගුරුවරියන් 80% කගේ විශ්වාසය වී ඇත"

එහිදී සොයා ගත් මූලික කරුණු:

  • ඔසප් සනීපාරක්ෂක කළමනාකරණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය තිබී ඇත්තේ පාසල් කීපයක පමණි.
  • ගුරුවරියන්ගෙන් 60% ක විශ්වාසය වී ඇත්තේ ඔසප් රුධිරය අපිරිසිදු බවය.
  • නෑමෙන් වැළකී සිටිය යුතු බව ගුරුවරියන් 80% කගේ විශ්වාසය වී ඇත.
  • යෝනි මාර්ගය තුළට ඇතුළු කරන ටැම්පුන් (Tampon) භාවිතයෙන් අතුරු ආබාධ ඇති වෙතැයි ගුරුවරියන්ගෙන් 40% කගේ විශ්වාසය වී තිබේ.
  • රජයේ පාසල්වලින් සබන් තිබී ඇත්තේ 41% ක පමණි.
  • හදිසියකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා සනීපාරක්ෂක තුවා ඇතැයි සඳහන් කර ඇත්තේ විදුහල්පතිවරුන්ගෙන් 1% ක් සහ ගුරුවරියන්ගෙන් 6% ක් පමණි.

පාසල් දැරියන්

වැඩිවියට පත් වීමට පෙර ඔසප්වීම පිළිබඳ තොරතුරු නොදන්නා දැරියන්ගේ ප්‍රතිශතය . . .

(දත්තවලට අදාළ වසර ශ්‍රී ලංකාව 2014, පාකිස්තානය 2017, නේපාලය 2016, ඉන්දියාව 2016, බංග්ලාදේශය 2014, ඇෆ්ගනිස්තානය 2010)

  • ඔසප් කාලය තුළ ස්නානය කළ යුතු බව පාසල් සිසුවියන්ගෙන් 80% ක් දැන සිටියහ.
  • ඔසප් රෙදිකඩ සබන් යොදා සේදිය යුතු බවත් විෂබීජ නැසීම සඳහා යළි භාවිතයට පෙර වියළා ගත යුතු බවත් පාසල් සිසුවියන්ගෙන් 70% ක් දැන සිටියහ.
  • සෑම මසක ම ඔසප් සමයේ දිනක් හෝ දෙකක් පාසල මගහැරෙන බව පාසල් දැරියන්ගෙන් 37% ක් පවසා තිබේ.
  • 66%ක් පාසල් සිසුවියන් වැඩිවියට පත් වන තෙක් ඔසප් වීම පිළිබඳව දැන සිට නැත.

කලාපයේ වෙනත් රටවල්

Menstrual pain cartoon

ඡායාරූප මූලාශ්‍රය, Churan Zheng

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔසප් වීම ආරම්භයත් සමග කාන්තාවන්ට අත්විඳීමට සිදුවන වේදනාව දැක්වීම සඳහා සමාජ ජාල තුළ පළ කරනු ලැබූ ඡායාරූපයක්

නිල වාර්තාවලට අනුව කලාපයේ වැඩි වශයෙන් ම සනීපාරක්ෂක තුවා භාවිත කරන රට භූතානයයි. එරට කාන්තාවන්ගෙන් 90% ක් සනීපාරක්ෂක තුවා භාවිත කරන බව යුනිසෙෆ් සංවිධානයේ වාර්තා පෙන්වා දෙයි.

ඉහත කී වාර්තාවට අනුව ඉන්දියාවේ 58% ක් පිරිසිදු ආරක්ෂණ ක්‍රමවේද (සකසා ගත් රෙදිකඩ, සනීපාරක්ෂක තුවා, ටැම්පුන්) භාවිත කරති. කෙසේ නමුත් මිල අඩු සනීපාරක්ෂක තුවාවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් අවධානය යොමු වේ.

පාකිස්තානයේ දැරියන්/කාන්තාවන් 66% ක් කපු රෙදි භාවිත කරන අතර ඉන් 49% ක් ඒවා යළි භාවිත කරති. 17% ක් සනීපාරක්ෂක තුවා භාවිත කරති.

බංග්ලාදේශයේ 10% ක් ඉවතලන සනීපාරක්ෂක තුවා භාවිත කරති.

ඔසප් කාලය තුළ කාන්තාවන් බලහත්කාරයෙන් නිවසින් පිටත රඳවා තැබීමේ චාරිත්‍රයක් නේපාලයේ පැවතෙයි.

එය සාපරාධී වරදක් කෙරෙන නීතියක් නේපාල පාර්ලිමේන්තුව විසින් 2017 වසරේදී සම්මත කරනු ලැබීය.

ඔසප් වූ කාන්තාවක නිවසින් පිටත රඳවන පුද්ගලයන්ට මාස තුනක සිර දඬුවමක් හෝ පවුම් විසි තුනක (ඇමෙරිකානු ඩොලර් 30 ක) දඩයක් නියම කිරීමට එම නව නීතිය යටතේ බලය ලබා දී ඇත.

ඔසප් නිවාඩු

වීඩියෝ ශීර්ෂ වැකිය, ඔසප් මිත්‍යා මත අභියෝගයට ලක් කළ තරුණියක්

මේ අතර ඔසප් කාලය තුළ කාන්තාවන්ට යම් කිසි ආකාරයක සහනයක් ලබා දීම සඳහා ඇතැම් රටවල් සහ ආයතන පියවර ගනිමින් සිටිති.

ඔසප් වීම ආරම්භයත් සමග දරාගත නොහැකි වේදනාවක් දැනෙන්නේ නම් එවැනි කාන්තාවන්ට මසකට දිනක් හෝ දෙකක් නිවාඩු ලබා ගැනීමට චීනයේ පළාත් ගණනාවක් තුළ නීතියෙන් අවස්ථාව හිමි වේ.

සැම්බියාවේ රැකියා කරන කාන්තාවන්ට මාසයකට එක් වතාවක් තමන් කැමති දිනක නිවාඩුවක් ලබා ගැනීමේ අයිතිය නීති මගින් හිමිකර දී තිබේ.

මේ ගැනත් කියවන්න: