ඕනෑම අලියෙක් මෙල්ල කරන මන්තරේ...!

    • Author, තිසර රතුවිතාන.
    • Role, BBC

"කොටන් අදින අලි සහ පෙරහැරේ යන අලි කියල ජාති දෙකක් ඉන්නවනේ; අපිට පෙරහැරේ යන්න නම් කොටන් අදින එකෙක් දෙන්නෙකුත් ඉන්න ඕන... උන් ඔහේ කොටන් ඇදපුදෙන්..."

මේ එක්තරා කාර්යාලයක කලමනාකරුවෙකුගේ මුවින් පිටවූ වදන් පෙළකි. ඔහු මෙහිදී සඳහන් කළේ සිය කණ්ඩායමේ සංයුතිය ගැන තමන්ගේ අර්ථකථනය විය යුතුය.

කොටන් යනු බර ලී කඳන් ය. පුරාණ යුගයේ පටන් එවැනි බර වැඩ සඳහා අලියා යොදා ගත්හ. එමෙන්ම, පෙරහැරේ තේජස වැඩි කර ගැනීමට යොදා ගත්තේ ද අලි ඇතුන්ම ය. එය හෙළ පිරුළකට පෙරැළුණේ ඒ නිසා විය යුතු ය.

අද, ඕනෑම බර වැඩකට සරිලන යන්ත්‍ර සූත්‍ර නිපදවා තිබේ. එසේ තිබියදීත් තවමත් කොටන් ඇදීමට අලි යොදා ගනිති. තාක්ෂණය හිණිපෙත්තට ම දියුණු වී තිබිය දී තවමත් කොටන් අද්දවා ගැනීමට අලි යොදා ගත යුතු ද?

මේ කතා කරන්නේ ඇත්ත අලි ගැන ය.

අලියා කොටන් අදින්නේ සිය කැමැත්තට නොවේ. කැමැත්තෙන් කරන්නේ නම් ගොව්වාට හෙණ්ඩුවේ පිහිට ඇවැසි නොවේ. හෙණ්ඩුව පෙන්වූ සැනින් කීකරු වන්නේ ඉන් ඇණුම් කෑ විට ඇතිවන වේදනාව මතකයේ රැඳී ඇති නිසාය. එය අමතක වන හැම මොහොතක ම එම වේදනාව නැවත මතක් කර දීම ගොව්වාගේ රාජකාරියේ කොටසකි.

මා දන්නා ඇත් ගොව්වෙකු විය. ඔහු අලියා මෙල්ල කරන ආකාරය මම දැක ඇත්තෙමි. ඒ හැම මොහොතකම ඔහු බීමත්ව සිටින බවක් පෙනෙන්නට තිබුණි. ඔහුගේ අණට කීකරු කරවා ගැනීමට අලියාට නිතරම හෙණ්ඩුවෙන් අනින ආකාරය මම දැක ඇත්තෙමි. බොහෝ විට එම ඇණුම් පහර එල්ල වන්නේ හන්දිපත් අතරට හෝ මුහුණට ය. ඊට විශේෂ හේතුවක් ඇති බව මා දැන ගත්තේ ගොව්වාගේ පුත්‍රයාගෙනි.

"මූණට අනින්න කලින් හෙණ්ඩුව ඇහැට කිට්ටු කරලා හොඳට පෙන්නන්න ඕන. එතකොට හෙණ්ඩුවේ බලය අලියට හොඳට මතක හිටිනවා. හන්දිපත් වලට ඇන්නම අඩිය තියල ඇවිදින වාරයක් ගානේ ඒක රිදෙනවා. එතකොට මතක හිටිනවා වැඩියි." පියාගේ දැනුම උකහාගෙන ඇති ආකාරයට පුත්‍රයා මා දැනුවත් කළේය.

වසර කීපයකට පසු ඒ අලියාගේ ම පා පහරට ලක්ව 'අලි ධම්මේ' මිය ගියේය. ඉන් පසුව අතැරුවා වූයේ පුතණුවා ය. පළාතේ මන්ත්‍රීවරයාගේ අලියා මිය යන තුරුම පිය උරුමෙන් ලද රාජකාරිය ඔහු එලෙසම ඉටු කළේය. ගොව්වා වෙනස් වුවද කාරිය වෙනස් නොවන බව පැහැදිලි විය.

හෙණ්ඩුවට සීමා වූ දැනුම

ඊට හේතුව තනතුරට නුසුදුස්සා පත්වීම ය. ඔහුට විෂය පිළිබඳ ශාස්ත්‍රීය දැනුම නොමැත. ඔහු දැක්කේ ගුරා කළ දේ පමණි. හෙණ්ඩුව අතට පත් මොහොතේ පටන් ගුරාගේ වැරදි ක්‍රම ගෝලයා ද ක්‍රියාවේ යොදවයි. ඔහු සිතන්නේ 'කෝකටත් තෛලය' හෙණ්ඩුව බවය. හෙණ්ඩුවේ බලයෙන් සියල්ල ජය ගත හැකි බවය. ඔහු දන්නා එකම ක්‍රමවේදය ද එයම ය.

භයානක ම දෙය නම් තමන් එදා ගුරාගෙන් ලද වැරදි උපදෙස් තමන්ගේ ගෝලයාට ද ලබා දීම ය. විද්‍යාත්මක පදනමක් සහිත නිසි පුහුණුවක් ඇත් ගොව්වන්ට ලබා දිය යුතු බව විශේෂඥයන් පවසන්නේ ඒ නිසා විය යුතුය.

ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල සතුන් හීලෑ කර ගැනීම සඳහා 'විධාන' ලබා දීමේ ක්‍රමවේදයක් (Commanding system) පමණක් යොදා ගනු ලබන නමුත් බටහිර රටවල ඒ සඳහා යොදා ගනු ලබන්නේ සතාට රස අහරක් ලබා දී යම් ක්‍රියාවක් 'අගය කර' ඒ සඳහා හුරු පුරුදු කිරීමේ ක්‍රමවේදයක් (Rewarding system) බව විශේෂඥයෝ පෙන්වා දෙති.

නමුත් යල් පැනගිය පාරම්පරික ක්‍රමවේද පමණක් දන්නා ගොව්වා, කොටන් අද්දවා ගැනීමට යොදා ගන්නේ හිංසාව, බිය ගැන්වීම හෝ දඬුවම් ලබා දීම පමණි. තමන් අතින් සිදු වන්නේ වරදක් බව මේ ගොව්වා නොදන්නවා විය හැකිය.

එම නිසා, "දැනට හීලෑ යැයි සම්මත අලින්" හිංසාවෙන් මුදා ගැනීමට නම් මෙවැනි ගොව්වන්ට උපදේශකයෙකු (Mentor) යටතේ නැවත පුහුණුවක් ලබා දීමේ වැදගත් කම පාරිසරික හා සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානය අවධාරණය කරයි.

ගැමියා කවදත් අලියාට සෙනෙහෙවන්ත ය. භක්තිමත් ය. අලි හිමියන් වන්නට තියා තම පවුල නඩත්තු කරගන්නටවත් සරිලන ආදායමක් නොමැති ගැමියා පවා, අලියෙකුගේ කුසට අහරක් හෝ පැන් පොදක් දෙන්නට අවස්ථාවක් ලදොත් එය මග නොහරී.

අලියාගේ කුස පුරවා, 'දාන පාරමිතා' පුරන්නන් ද නැත්තේ නොවේ. තම දෑතින් සරුසාර කළ කෙත් යායම අලි ඇතුනට දන් දුන් ගොවියෝ ද විසූහ. ගොයම දන් දුන් ගැමියා අලියා වර්ග නොකළේය. කොටන් අදින අලියාටත් පෙරහැරේ යන අලියාටත් එක සිතින් සෙනෙහෙ පෑවේය.

නමුත් සළු පිළි දවටා පෙරහරේ පිය මනින අලියාට බොහෝ පුද සත්කාර ලැබුණු බව නම් සැබවි. මග දෙපස සාදුකාරයෙන් අඩුවක් නැත.

පෙරහැරේ යාමට සහ කොටන් ඇදීමට පුරාණයේ වෙන වෙනම අලි සිටියා විය හැකිය. නමුත් අද තත්වය වෙනස් ය. පෙරහැර අවසාන වූ පසු සළු පිළි උනා දමා බර වැඩට යන අලි ඇතුන් එමට ය.

එසේනම්, කොටන් අදින විට හෙණ්ඩු ප්‍රහාරය එල්ල වන්නේ, සාදුකාර මැද පෙරහැරේ සැපත් වන අලියාටම ය. ඇතැම් විට පෙරහැරේ පිය මනින්නේ ඊට පෙර දිනෙක කොටන් අදිද්දී දණහිස පිටුපසට ඇණුම් කෑ හෙණ්ඩු තුඩක වේදනාව දරාගෙන විය හැකිය.

'බඩ යටින් රිංගන'

අලියාට දැන් අලුත් රාජකාරියක් ද පැවරී ඇත. ඒ සංචාරකයන් පිනවීම ය. තරු පන්තියේ හෝටල් ආශ්‍රිතව එය හොඳ ආදායම් මාර්ගයකි.

ඒ කිසිවක් නැති දවසට ජූජා භූමියේ රැඳෙන්නේ විවේක ගැනීමට ම නොවේ. පා වටා යදම් බැඳ සිටවා තැබෙන්නේ 'බඩ යටින් රිංගන' බැතිමතුන් සහ 'සෙල්ෆි ගසන' බැතිමතුන්, හාම්පුතුට හෝ පුද බිමට ආදායම් මාර්ගයක් සපයන බැවිනි.

"දැන් සමහරු කියනවනේ මේ අලි පෙරහැරේ නටනවා කියල; අලි හරි කැමැත්තෙන් මේ වැඩේ කරන්නේ කියල. එහෙම නැහැ. අලි දෙපැත්තට පැද්දෙන්නේ මානසික ආතතිය වැඩි වුනාම. ඒකට අපි තාලයක් දාල, බෙරයක් ගහල කියනවා අලියා නටනවා කියල." ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ට සිදුවන හිංසාවන්ට එරෙහිව කටයුතු කරන පාරිසරික හා සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානයේ කළමනාකාර අධ්‍යක්‍ෂ සුජීව ජාසිංහ, සිය අත්දැකීම් මා හා බෙදා ගත්තේය.

"අලියෙක්ව රංචුවෙන් වෙන් කරලා පැහැරගෙන ඇවිත් ගැට ගහල හදන්න පටන් ගත්ත දවසේ ඉඳන් ඒ සතා මානසින ආතතියකින් ජීවත් වෙන්නේ. රංචුවත් එක්ක කැලේ ජීවත් වෙන අලියෙක් ඔහොම දිගටම පැද්දෙනවා දැකල තියෙනවද?" ඔහු මගෙන් ප්‍රශ්න කළේය.

එය සත්‍යයක් නම්, එවැනි මානසික තත්වයක පසුවන සත්වයෙකු සියයට සියයක් ම මිනිසාට හීලෑ විය හැකිද? එසේ හීලෑ වීනම් හෝ සිය කැමැත්තෙන් මිනිස් වාසයේ වසන්නේ නම් තවදුරටත් දම්වැල් දමා පා විලංගු ලා තැබිය යුතුද? කීකරු කර ගැනීම සඳහා හෙණ්ඩුවේ පිහිට ලැබිය යුතු වේද?

සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නන් ගේ මතය අනුව "හීලෑ" නමින් හැඳින්වෙන මෙම තත්වයට අලියා පත්ව ඇත්තේ ඉතා වේදනාකාරී සහ හිංසාකාරී වූ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් වශයෙනි. රංචුවෙන් පැහැර ගත් දා පටන් සිදු කෙරෙන මෙම ක්‍රියාවලිය "අලි රඳවාගෙන සිටින, ප්‍රභූවරුන් යැයි හඳුවාගන්නා පිරිස" විසින් හඳුන්වනු ලබන්නේ "පුහුණුවක්" ලෙසිනි.

"අලි පැටියෙක් අල්ල ගත්ත දවසේ ඉඳල ඒ අලියා ලොකු මහත් වෙලා, වයස්ගත වෙලා මරණයට පත්වන තුරුම සිද්ධ වෙන්නේ හිංසාව. හීලෑ යැයි සම්මත අලින්ට පවා හිංසා කරන ආකාරය දැක්වෙන ඡායාරුප හෝ වීඩියෝ පට කීයක් නම් මේ වනවිට ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවද?" සුජීව ජාසිංහගේ මතකයට, ක්ෂණිකව නැගුණු එවැනි සිදුවීම් කීපයක් සිහිපත් කළේය.

  • "උදාහරණයක් කියනවනම්, 'කලණ' කියන අලියා මාතර පැත්තේ දේවාලයක ඉඳල අත්අඩංගුවට ගත්තනේ. සෑහෙන්න හිංසා කරලා තිබුණා. කලණ ගේ කකුලට දාල තිබුණු දම්වැල, කකුල කපාගෙන ඇතුළට ගිහින් ඊට උඩින් මස් ඇදිල තිබුණ."

"ඒ දේවාලේ අලි දෙන්නව නඩත්තු කරන්න අක්කර 25ක පොල් වත්තක් ආණ්ඩුවෙන් දේවාලයට නොමිලේ දීල තිබුණ. පස්සේ බැලුවම අලි දෙන්න හිටියේ කොහේවත්; පොල් වත්ත තියෙන්නේ කොහේවත්. අලි පෙන්නලා ආණ්ඩුවෙන් වතු නොමිලේ අරගන්නවා, අලිය නඩත්තු කරන්න කියල. ඒක වෙනම ව්‍යාපාරයක්."

  • "විශ්ව කියල අලියෙක් හිංසාවට ලක්වෙලා තිබුණා. පිරිවෙනක හිටියේ. ඇත්ගොව්වා විශ්වට අමානුෂික ලෙස පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් පිටවුනා. ඒ ඇත්ගොව්වා හිංසාකාරී පුද්ගලයෙක් බව මීට කලිනුත් වාර්තා වෙලා තිබුනා. වෙනත් තැන්වලින් එලවපු කෙනෙකුට තමයි මේ අලියව භාරදීලා තිබුණේ. සමහර අලි රඳවාගෙන සිටින්නන් මේවා දැන ගත්තත් නොදැක්ක වගේ ඉන්නවා. ආදායම විතරයි බලන්නේ."
  • "මියන් කුමාර බෙල්ලන්විල පන්සලට ලැබුණේ මියන්මාරයෙන්. පුංචි පැටිය කාලේ ගෙනාවේ. නොසෑහෙන්න වද හිංසාවලට ලක්වෙලා. ඉදිරි සහ පසුපස පාද දෙපසට ඇදල ගැටගහල තියන්නේ. ඒක හරිම වේදනාකාරී ඉරියව්වක්. මියන් කුමාරට පහර දෙන වීඩියෝ පටයකුත් තියෙනවා."
  • "කෝට්ටේ පන්සලක සුරතලා, හේමන්ත, ලංකා කියන අලි තුන් දෙනාම හිංසාවට ලක්කරමින් බර වැඩට යොදා ගත්තා. ඒ තුන්දෙනාම දුක් විඳලා මැරිලා ගියේ. අන්තිමට ඒ වගේ බර වැඩකට අරගෙන ගිය දවසක රේල් පාරක් ගාව ගැටගහල තියල අකුණක් වැදිලා එක අලියෙක් මැරුණා."
  • "ඇරැව්වල පැත්තේ නීති විරෝධීව රඳවාගෙන හිටිය අලියෙක් ඇල්ලුවා. කකුල් කුණු වෙලා තිබුණේ. අන්තිමට පින්නවල අලි අනාථාගාරයට අරන් ගිහින් බෙහෙත් කළේ."
  • "ගංගා කියල හඳුන්වන අලියෙක් ඉන්නවා. ගැහැණු සතෙක්. කොළඹ ප්‍රසිද්ධ පන්සලක් අසල ඉඩමක තමයි නීතිවිරෝධීව ගැට ගහල ඉන්නේ. මේ අලියට අමානුෂික විදියට පහර දෙන වීඩියෝ පටයකුත් එලියට ආවා. නීතිය කාටත් එකනම් ඒවා යට යන්න විදියක් නැහැ."
  • "සුමනා කියන අලියව සොයා ගන්න කොට ඒ අසරණ සතාගේ කකුලේ උලක් ඇනිලා තිබුණේ. නිසි ප්‍රතිකාර ලැබිල නැහැ."
  • "ටිකිරි හොඳටම වයස්ගත වෙලා ඇට සැකිල්ල පෑදිල, ඉතා දුර්වල තත්වයෙන් සිටින විටත් පෙරහැරට යොදා ගත්තා. එය අමානුෂිකයි කියල ජාත්‍යන්තර මාධ්‍යවලත් වාර්තා වෙලා තිබුණ."

සුජීව ජාසිංහ සිදුවීම් කිහිපයක් සිහිපත් කළේ ඒ අයුරිනි.

බෙල්ලන්විල පන්සලේ රඳවාගෙන සිටි මියන් කුමාරට සිදුවෙමින් පැවතුන වධ හිංසා පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේදී හීලෑ අලි ඇතුන් හිමියන්ගේ සංගමයේ ලේකම් ධම්සිරි බණ්ඩාර බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා තිබුණේ ඇත්ගොව්වෙකු විසින් අලියෙකුට හිංසාවක් කරනු ලබන්නේ නම් එය අනුමත කළ නොහැකි බවය.

මියන් කුමාරට පහර දුන් බව කියන ඇත්ගොව්වන් සම්බන්ධයෙන් සොයා බලා නිසි පියවර ගැනීමට සිය සංගමය මැදිහත් වන බව ඔහු පැවසීය.

"එහෙම නැති නම් ඒක අපිට නරක නාමයක්. එක් ඇත්ගොව්වෙක් කරන දේකින් සමස්ත ඇත්ගොව්වන්ට වගේ ම අලි හිමියන්ටත් නරක නාමයක් එනවා." ඔහු පවසා තිබුණි.

නමුත් පාරිසරික හා සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානයේ කළමනාකාර අධ්‍යක්‍ෂ සුජීව ජාසිංහ පවසන්නේ වරදක් හසු වූ විට ගොව්වාගේ පිට වරද පටවා ඇඟ බේරා ගැනීමට තැත් කරන ඇතැම් අලි රඳවාගෙන සිටින්නන්, එවැනි හිංසා සිදු වෙද්දී නොදැක්කා සේ සිටින බවය.

"නැත්නම් කොහොමද විහාර බලධාරීන්ට හොරෙන් පන්සල් භූමියේම අතපය දෙපැත්තට ඇදල අලියෙක්ව ගැට ගහල තියන්නේ." ඔහු තර්ක කරයි.

"සත්ව හිංසනයට එරෙහි බොහෝ දෙනා සමඟ අපි මැදිහත් වුනා බොහෝ දේවලට, ඒත් අලි රඳවාගෙන සිටින්නන්ට බලවතුන්ගේ සහාය ලැබුණු නිසා මේ සත් කාර්යය ලේසි පහසු කාර්යයක් වුනේ නැහැ. නීතිය කාටත් එකයි නම් මේ රටේ අපරාධ දිගටම පවතින්නේ නැහැ."

"උදාහරණයක් හැටියට 1996 පමණ පටන් සාකච්ඡාවට භාජනය වන සත්ව සුබසාධන පනත තවමත් පාර්ලිමේන්තු පනතක් ලෙස සම්මත කරගන්න බැරි වෙලා තියෙනවා."

"පැහැර ගැනීම කියන්නේ අපරාධයක්. ඒකට බලපත්‍ර දෙන්න බැහැනේ. නීත්‍යානුකූල පැහැරගැනීම් කියල ජාතියක් නැහැනේ. ලංකාවේ මේ වන විට හීලෑ යැයි කියන අලි ඇතුන්ගෙන් දෙතුන් දෙනෙක් ඇරෙන්න සෑම අලියෙක් ම රංචුවෙන් වෙන්කරලා පැහැර ගත්තු සතුන්. ගෘහාශ්‍රිතව උප්පත්තිය ලබල තියෙන බවට ඔප්පු වෙලා තියෙන අලි ඉන්නේ වැඩිම උනොත් දෙතුන් දෙනයි." පාරිසරික හා සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානයේ කළමනාකාර අධ්‍යක්‍ෂ සුජීව ජාසිංහ තවදුරටත් විස්තර කළේය.