එක්සත් ජාතික පක්ෂයට "නායකත්වය දීමේ අභියෝගය භාර ගැනීමට සූදානම්" - කරු ජයසූරිය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකාවේ පැරණිම දේශපාලන පක්ෂය සහ මෑත කාලීනව ප්‍රජාතන්ත්‍රවාදය ඉස්මතු කිරීම පිණිස ප්‍රබල දායකත්වයක් දැක් වූ පක්ෂයක් ලෙසින් එක්සත් ජාතික පක්ෂයට අත් වී තිබෙන ඉරණම එම පක්ෂයේ ප්‍රශ්නයක් පමණක් නොව රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ විශාල බලපෑමක් ද බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් සහ දේශපාලන විචාරකයින් පවසති.
"වර්තමානය වන විට එජාපය පත්ව ඇති තත්ත්වය සමස්ත පාක්ෂිකයාගේ සහ මෙරට ප්‍රගතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය අගයන පුරවැසියන්ගේ බලවත් කණගාටුවට හේතු වී ඇති," බව හිටපු කතානායක සහ පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක කරු ජයසූරිය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් පවසා තිබුණි.
"අප මාතෘභූමියට නිදහස ලබා ගැනීමෙහිලා පුරෝගාමී දායකත්වය ලබා දුන් ගෞරවනීය දේශප්‍රේමී සහ ජාතිකවාදී දේශපාලන බලවේගය වූයේ මහාමාන්‍ය ඩී එස් සේනානායකයන් විසින් බිහි කළ එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකාවට සැබෑ දේශමාමකත්වයෙන් යුතුව 21 වන සියවසේ අභියෝග ජය ගැනීම සඳහා අවශ්‍ය පරිණතභාවය, නිපුණතාව, සහ ජාත්‍යන්තර පිළිගැනීම සහිත දේශපාලන පක්ෂය," බවත් හිටපු කතානායකවරයාගේ නිවේදනයේ දැක්වේ.
බීබීසී සිංහල සේවය සමඟ අදහස් දැක්වූ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය විශාකා සුරියබණ්ඩාර, "අද එක්සත් ජාතික පක්ෂය පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් දියවෙලා යාම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල තර්ජනයක්," යනුවෙන් සඳහන් කළාය.
අන්ත පරාජයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
1947 දී පිහිටුවන ලද එක්සත් ජාතික පක්ෂය, එවක් පටන් මෙතෙක් පැවති සෑම මැතිවරණයකදීම පාලක පක්ෂය හෝ ප්‍රධාන විරුද්ධ පක්ෂය ලෙසින් කටයුතු කොට තිබේ.
1977 මහ මැතිවරණයේ දී ශ්‍රීලංකා නිදහස් පක්ෂය ආසන අටකට සීමා කරමින් පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් දිනාගැනීමට හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය සමත්විය.
ශ්‍රී ලංකා දේශපාලනයේ පැරණිතම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂය වන එම පක්ෂය, 2020 මැතිවරණයේ දී පක්ෂයට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවියට සුදුස්සෙකු නම් කිරීමට පවා තවමත් අපොහොසත්ව සිටී.
එක්සත් ජාතික පක්ෂ ප්‍රකාශකයෙකු බීබීසී සිංහල සේවයට පැවසුවේ නායකත්වය පිළිබඳව අවසන් තීරණයක් ගන්නා තුරු පාර්ලිමේන්තු අසුන පිළිබඳව කිසිදු තීරණයක් නොගන්නා බවය.
'කරු ජයසූරිය ඉදිරියෙන්'
අගෝස්තු 25 අඟහරුවාදා පක්ෂයේ කෘත්‍යාධිකාර මණ්ඩලය රස්වීමට නියමිත අතර එහිදී නායකත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
මේවන විට නායකත්වය සඳහා කිහිප දෙනෙකුම කැමැත්ත පළකර ඇති අතර හිටපු කතානායක කරු ජයසූරිය ඒ අතරින් ඉදිරියෙන් සිටින අතර අකිල විරාජ් කාරියවසම්, දයා ගමගේ, වජිර අභයවර්ධන හා රුවන් විජයවර්ධන අනෙක් අපේක්ෂකයින් අතර සිටින බව ද ඔහු පැවසීය.


ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නම හෙළි නොකරන මෙන් ඉල්ලා සිටි එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයෙකු බීබීසී සිංහල සේවයට පැවසුවේ 3/4ක් පමණ සාමාජිකයන් කරු ජයසූරිය නායකයා වශයෙන් තෝරාගැනීමට කැමති බැවින් මේ පිළිබඳව හෙට පැවැත්වෙන කෘත්‍යාධිකාර මණ්ඩල රැස්වීමේ දී අදහස් දක්වන බවය.
සිය මාධ්‍ය නිවේදනයේ තවදුරටත් අදහස් දක්වන හිටපු කතානායක කරු ජයසූරිය, "එක්සත් ජාතික පක්ෂය නැමැති මෙම අභිමානවත් දේශපාලන බලවේගය පත්ව ඇති අවසානාවන්ත තත්වයෙන් මුදාගෙන පක්ෂයට හිමි අද්විතීය ස්ථානය යළි හිමි කර ගනිමින්, එක්සත් ජාතික පක්ෂයෙන් ශ්‍රී ලංකාවට ඉදිරියටත් ඉටු කළ හැකි මෙහෙවර වෙනුවෙන් ඉදිරිපත් වන ලෙස පසුගිය මහ මැතිවරණයෙන් පසුව බොහෝ දේශ හිතෛශී පාර්ශවයන්ගෙන් මා හට ආරාධනා ලැබිණි," යනුවෙන් ද සඳහන් කරයි.
"ඒ අතර ගරුතර සංඝරත්නය ප්‍රමුඛ සියලු ආගම් නියෝජනය කරන පූජ්‍ය පක්ෂය, එජාපය නියෝජනය කළ හිටපු මැති ඇමතිවරු, පක්ෂයට සහ රටට හිතැති බුද්ධිමතුන්, එජාපය සමග සහයෝගයෙන් ක්‍රියා කරන ඇතැම් පක්ෂ නායකයන්, පළාත් සභා සහ ප්‍රාදේශීය මට්ටමේ ජනතා නියෝජිතයන්, පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිති, තරුණ සංවිධාන, මෙන්ම මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අගයන සිවිල් සංවිධාන ද ප්‍රමුඛ විය."

පක්ෂයට සම්බන්ධ භික්ෂූන් වහන්සේ පිරිසක් ද ඔහුගේ නායකත්වය ඉල්ලා සිටිමින් විශේෂ නිවේදනයක් නිකුත්කොට තිබුන අතර, "ඉදිරි මැතිවරණවලදී පක්ෂය ශූන්‍ය තත්ත්වයට පත්වීම වැළැක්වීම පිණිස වන අවසන් අවස්ථාව මේ මොහොතේ එළඹ ඇතැයි," සියලු දෙනා පෙන්වා දුන් බවත් හිටපු කතානායකවරයා පවසයි.
"කෙසේ වෙතත්, ජනතා ඉල්ලීමට කන් දෙමින් පාක්ෂිකයාගේ අදහස් අනුව පක්ෂයට අවශ්‍ය වන කාලීන ප්‍රතිසංස්කරණ වහාම සිදු කොට නව මුහුණුවරකින් යුතු කඩිනම් ප්‍රතිසංවිධාන ක්‍රියාවලියක් මගින් එක්සත් ජාතික පක්ෂයට ප්‍රතාපවත්ව යළි නැගී සිටීමට හැකි බව මම විශ්වාස කරමි," යනුවෙන් පවසන කරු ජයසූරිය, "පක්ෂයේත් ශ්‍රී ලංකාවේත් අභිවෘද්ධිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගය භාර ගැනීමට මා හට හැකි බව වර්තමාන පක්ෂ නායකත්වය වෙත මෙන්ම පක්ෂයේ ජේෂ්ඨයන් වෙත දැනුම් දීමට මවිසින් කටයුතු කර තිබේ," යනුවෙන් සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.
ශක්තිමත් විපක්ෂයක්

ශක්තිමත් හා ප්‍රබල විපක්ෂයක් යහපත් රාජ්‍ය පාලනයක මූලික ලක්ෂණයක් බැවින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයක ශක්තිමත් පක්ෂ පැවතිය යුතු බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශාකා සුරියබණ්ඩාර බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය.
"දේශපාලන පක්ෂ නිර්මාණය වෙලා තියෙන්නේ ඒවායේ ප්‍රතිපත්ති හා දර්ශනයන් සමග. එමනිසා සමාජයක් ඉදිරියට යාමේදී දේශපාලන පක්ෂ ඉතාමත් වැදගත්. එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වී සැදුනු ජන බලවේගය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්වී පිහිටවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ නොවෙයි මේවා වයපෘතින්. මේවා දේශපාලන පක්ෂ ආකෘතියෙන් බැහැරව නිර්මාණය වෙච්ච බලව්ග එවැනි දේශපාලන පක්ෂ ආකෘතියෙන් බැහැරව යාම විශාල අභියෝගයක්," ඇය සඳහන් කළාය.
"එසේ වීම ඒක පාක්ෂික බලයට ඉඩතැබීමක්. එය ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක්. ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී වෙනස් මතයන් ඉදිරිපත් වීමට ඇති ඉඩ ඇහිරෙනවා පණක් නොව හොඳ හා සියලු දෙනාගේ සහභාගිත්වයෙන් ප්‍රතිසංස්කරණ කිරීමට ඇති හැකියාව නැතිව යනවා."
එබැවින් දේශපාලන පක්ෂ ශක්තිමත්ව පැවතීම රටකට ඉතාමත් වැදගත් බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශාකා සුරියබණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළාය.








