2020 ශ්‍රී ලංකා මහ මැතිවරණය: ඡන්දය වෙනුවෙන් 'ජීවිත අවදානමක්' දරන කල්පිටියේ දූපත් වැසියෝ

"ඒ දවස්වල ජන්දෙ දාන්න අපිට කිසි ගැටලුවක් තිබුණෙ නැහැ. ගමේම ජන්දේ දාන්න පහසුකම තිබුණා. ඒ වගේම අද වගේ පක්ෂ ගොඩක් තිබුණෙ නැහැ. අපි ඒ දවස්වල දන්නේ කොළයි නිලුයි විතරයි. ඒ වුණාට රට මෙච්චර දියුණු වෙලා තියෙද්දිත් අද අපිට ජන්දේ දාන්න සැතපුම් ගණනක් යන්න වෙලා තියනවා. වාරකන් මූදෙ ලොකු අවදානමක් ගන්න වෙලා තියෙනවා. ඒ වගේම තමයි පක්ෂ ගොඩක් නිසා ඡන්දෙ දාන කෙනා හොයා ගන්නත් අමාරුයි."
එසේ පැවසූ හැත්තෑ තුන් හැවිරිදි මාර්කු සෙබස්තියන් මිරැන්ඩා වෙසෙන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය දූපත් සමුහයේ ප්‍රධාන දූපතක් වන උච්චිමුනේ දූපතේයි.
සිය ඡන්ද අයිතිය භාවිතය සඳහා තවමත් නිසි පහසුකම් සම්පාදනය වී නැති බව පවසන එම දූපත්වාසීහු ගමනාගමනයට ඇති දුෂ්කරතාව ප්‍රමුඛ වන බව පෙන්වා දෙති. එහෙත් බලධාරීන් බවසන්නේ අදාළ ඡන්දදායකයින්ට ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ප්‍රවාහන පහසුකම් රජය විසින් සපයනු ලබන බවය.
උච්චිමුනේ දූපතක් ලෙස රටේ බොහෝ පිරිස් හැඳින්වුවත් එහි ජීවත් වන පිරිස එය දූපතක් ලෙස පිළිනොගනිති.
"දූපතක් කියන්නේ හතර වටෙන්ම ජලයෙන් වටවුණු ප්‍රදේශයකට, හරියට ලංකාව වගේ. මේක වට වෙලා තියෙන්නේ තුන් පැත්තකින් විතරයි. කන්දකුලියේ ගමේ ඉඳලා අපේ ගම ගොඩබිමට සම්බන්ධයි. දැන් වෙලා තියෙන්නේ අපිට හරි හමන් පාරක් නැති නිසා අපි බෝට්ටුවෙන් එන එක. එහෙම කියලා මේකට දූපතක් කියනවට අපි කැමති නැහැ," මාර්කු සෙබස්තියන් පැහැදිලි කළේය.

හෙක්ටයාර් 450 කට ආසන්න භූමි ප්‍රමාණයකින් යුත් උච්චිමුනේ එක් පසෙකින් මුහුදෙන් ද අනෙක් පසෙන් කලපුවෙන් ද වටවී තිබේ. පවුල් 300 කට ආසන්න ප්‍රමාණයක දහසක පමණ පිරිසක් එහි වෙසෙති. මෙයට යාබද ප්‍රදේශය "රෝද පාඩුව" ය. මේ ග්‍රාමයට දීර්ඝ ඉතිහාසයක් තිබෙන අතර මෙහි ඇති වසර සියගණනක් පැරණි කතෝලික දේවස්ථානය ඊට හොඳම නිදසුනකි. මෙම ගමට පිවිසීමට භාවිත කෙරෙන ප්‍රධාන මාර්ගය වන්නේ කල්පිටිය නගරයේ සිට කලපුව ඔස්සේ වූ බෝට්ටු ගමන ය. ඊට විනාඩි තිහකට ආසන්න කාලයක් ගතවේ. වැලිපරය ඔස්සේ ට්‍රැක්ටරයකින් හෝ 'ෆෝවීල්' වාහනයකින්ද යා හැකි අතර, ඉතා දුෂ්කර ගමනක් වන එයට පැය දෙකකට වැඩි කාලයක් ගත කිරීමට සිදු වේ.

උරුමය
"අපේ ගමට ලොකු ඉතිහාසයක් තියනවා," මාර්කු සෙබස්තියන් නැවතත් කටහඬ අවදි කළේය.
"මම ඉපදුණේ මේ ගමේ. මගේ තාත්තා ජීවත් වුණේ මේ ගමේ. මගේ තාත්තගෙ තාත්තා මෙහෙ ජීවත් වෙලා තියනවා. ඒ කාලෙ දැනට ඉන්නවට වඩා වැඩි පිරිසක් මෙහෙ ජීවත් වෙලා තියනවා. ඒ වගේම තමයි හතර වටින් ජලයෙන් යටවුණු පල්ලියවත්තයි, බත්තලංගුණ්ඩුවයි. අද වෙද්දී පල්ලියවත්ත පවුල් කීපෙකට සීමා වුණාට මීට අවුරුදු විස්සකට තිහකට උඩදී පවුල් දෙතුන් දාහක් ජීවත් වුණා. මට හිතා ගන්න බැහැ කල්පිටියේ වැලිපරවලට මොකද වෙන්නේ කියලා. අපේ ජන්දේ වගේ තමයි. ඉස්සර අපි මෙහෙ දැම්ම ජන්දය අද අපිට දාන්න වෙලා තියෙන්නේ සැතපුම් 12ක් පමණ දුර ගිහින්. හැබැයි රට ඇතුළේ පහසුකම් ඕනෑ තරම් තියෙද්දී, යන්න යාන වාහන තියෙද්දී කිලෝ මීටර් දෙක තුනෙන් ජන්ද පොළක් තියනවා. අපිට යන්න පාරක් නැහැ, වාහන නැහැ. නමුත් අපේ ගමේ ජන්ද පොළකුත් නැහැ. තිබුණ එකත් උදුරා ගත්තා. දැන් මම ලෙඩෙක් මගේ බඩට බටයක් දාල තියෙනවා. මම අවුරුදු පනස් ගණනක් ඡන්දය දාලා තියනවා. නමුත් මේ පාර මට ඡන්දය දාන්න යන්න පුළුවන් වෙයිද කියලා කියන්න අමාරුයි. ගමේ ජන්ද පොළ තිබුණ නම් කොහොම හරි දානවා," මාර්කු සෙබස්තියන් ඒ වචන කිහිපය දෙවරක් පැවසීය.
මීට වසර කිහිපයකට පෙර ලංකාවේ එකම ජන්දයක් හෝ ප්‍රකාශ වී නොතිබුණු ජන්ද පොළ තිබුණේද මීට නුදුරිනි. ඒ පුක්කුලමය. පුක්කුලමේ ජනතාව තම අයිතිය ගත්තේ සියලු දෙනා ජන්ද පොළට යෑම වර්ජනය කරමිනි. පුක්කුලමේ ජනතාවට මුහුදු සැතපුම් විස්සකට වැඩි ප්‍රමාණයක් දුර ගෙවා කල්පිටියට පැමිණ ජන්දය ප්‍රකාශ කිරීමට එදා සිදු වූ අතර එම වර්ජනය හේතුවෙන් ඔවුන්ට මීට වසර කිහිපයක සිට සිය ගමේදීම ජන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි ජන්ද පොළක් ලැබිණි.
එම කතාව මතක් කරමින් උච්චිමුනේ මඩු රාණි අල්මේදා කිවේ, මේ වාරකන් සමය වීම හේතුවෙන් මෙවර තමන් ද ජන්දය ප්‍රකාශ කිරීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බවකි.
"මේ දවස්වල කොයි වෙලේ මුහුද සැර වෙනවද කියලා කියන්න බැහැ. කොරෝනා නිසා බෝට්ටුවක වැඩිපුර යන්නත් බැහැ. වෙලාවකට හිතෙනවා ආර්ථික ප්‍රශ්න ගොඩක් තියෙද්දී ඇයි අපි කාවවත් බලයට පත් කරන්න ජීවිත අවදානමකුත් දරාගෙන වියදනුත් කරගෙන යන්නේ කියලා. මේ පාර ආණ්ඩුවෙන් කියලා තියනවා අපිට ජන්දේ දාන්න යන්න ට්‍රැක්ටර් දෙනවා කියලා. ඕනෑ නම් වැඩිම වුණොත් ට්‍රැක්ටර් දෙකක් දෙයි. නමුත් ඒ දෙකෙන් කොහොමද මේ ඔක්කොම යන්නේ. මේක ලොකු අසාධාරණයක්. යුද්ධ කාලේ මන්නාරමේ ඉඳල පුත්තලමට ඇවිල්ලා ඉන්න ජනතාවට මේ පාර මෙහෙ ජන්දය දාන්න කටයුතු සකස් කරලා තියනවා. ඇයි එහෙනම් අපිට ඒ දේ කරලා දෙන්න බැරි වුණේ?" මඩු රාණි ප්‍රශ්න කළාය.
දායකත්වය
ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදනයට සැලකියයුතු දායකත්වයක් කල්පිටියේ ධීවරයන්ගෙන් ලැබේ. විශේෂයෙන් දූපත්වාසී ජනතාවගේ කරවල නිෂ්පාදනය රටේ කරවල අවශ්‍යතාවයෙන් වැඩි පංගුවක් සපුරයි. "කල්පිටි කරවල" ලෙස නමක් දිනා ඇති එම කරවලවලට ලංකාවේ හොඳ ඉල්ලුමක් පවතී. රටේ ආර්ථිකයට මෙවැනි දායකත්වයක් දක්වන මේ ජනතාවට පසුගිය වසර ගණනාවක සිට කුඩම්මාගේ සැලකිල්ල හෝ නොලැබුණු බව හැටපස් හැවිරිදි රොබට් ඩයස් පැවසීය.

"අපිට ලොකු අඳුරු යුගයක් තිබුණා. අපි ඒ කාලෙත් මේ ගම ආරක්ෂා කරගෙන හිටිය. 1987 මේ ගමට කොටි ගැහුවා. ඒත් අපි ගම දාලා ගියේ නැහැ. මම හිතන්නේ අපි ඉපදුණෙත් මේ ගමේ, මැරෙන්න ඕනෑත් මේ ගමේ කියලයි. මට දරුවෝ හය දෙනෙක් හිටියා. දැන් ඉන්නේ පස් දෙනයි. එක ළමයෙක් මුහුදේ දී නැති වුණා. අපිට තියෙන ප්‍රධාන ගැටලුව තමයි අපිට ඉඩමේ අයිතියට ඔප්පුවක් නැති එක. ආණ්ඩු කිහිපයක් මැතිවරණවලදී අපිට පොරොන්දු වුණා ඔප්පු දෙන්න. නමුත් මැතිවරණය ඉවර වුණාම පොරොන්දුවලට මොනවාද වුණේ කියලා දන්නේ නැහැ. ඊළගට මේ ගමට ජලය, විදුලිය නැහැ, කියන්න කණගාටුයි නමට පමණක් පාසල තියනවා නමුත් එක සිංහල ගුරුවරයෙක් නැහැ," රොබට් ඩයස් සිය කනස්සල්ල එසේ පළ කළේය.
"මේ වගේ තත්ත්වයක ඉද්දි අද අපිට සිදුවෙලා තියනවා ලොකු වියදමක් දරා ගෙන ගිහින් ජන්දය දාන්නත්. වෙලාවකට හිතෙනවා එහෙම කරන්නේ ඇයි කියලා. නමුත් අපේ අයිතිය තියෙන්නේ එතන නිසා අපි අමාරුවෙන් ගිහින් ජන්දය දානවා. ඒකත් නොදැම්මොත් අපි නැහැ කියලා ලොක්කෝ හිතයි කියලත් හිතෙනවා."
ඡන්දය අහිමි වූවෝ
විශේෂ සංස්කෘතික අනන්‍යතාවකට හිමිකම් කියන මෙම ප්‍රජාව තුළ සිංහල හා දෙමළ යන ජන වර්ගවලට අයත් ජනයා මිශ්‍රව දිවි ගෙවති. පොදුවේ ඔවුන් කතා කරන බස දෙමළය. සිංහල භාෂාවද සාමාන්‍යයෙන් භාවිත කරති.
වැඩිහිටි පරපුර අතරින් බහුතරයට සාක්ෂරතාව නැත. තරුණ පරපුර අතරින් බහුතරයකගේ අධ්‍යාපනය 5වැනි වසරට සීමා වේ. මේ ජනාවාසවලට ඇති එකම දෙමළ මාධ්‍ය ප්‍රාථමික විදුහල 5 වසර දක්වා පමණක් සීමාවීම මෙයට හේතුවය. ඉන් එහා ඉගෙනීමට ඇති එකම විකල්පය කල්පිටියේ හෝ වෙනත් ප්‍රදේශයක නේවාසික වීමය. බොහෝ දෙනෙකුට ඒ සඳහා වත්කමක් නැත.
මේ වන විට දරුවනට අධ්‍යාපනය ලබා දීමේ වැදගත්කම මේ ග්‍රාමයේ ජීවත්වූ බොහෝ දෙනෙකුට අවබෝධ වී තිබේ. මීට හොඳම නිදසුන වන්නේ මිට වසර දහයකට පමණ පෙර මේ ග්‍රාමයේ විසූ ධීවර සමිති නායකයා වන දිනේෂ් ප්‍රනාන්දුය. ඔහු මෙම ග්‍රාමය හැර කල්පිටියට පිටත් වුයේ තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙනි. ඔහුට අද ජන්දය ඇත්තේ කල්පිටියේය. සිරුරින් කල්පිටියේ විසුවද මනසින් උච්චිමුනේ සිටින දිනේෂ් මෙහි ජන්දය අහිමි කරගත්තේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙනි.
"මට උච්චිමුනේ ජන්දය නැති එක ලොකු ගැටලුවක්. දරුවන් ගැන හිතලා තමයි මම කල්පිටියට ගියේ. වතුර නැහැ, කරන්ට් එක නැහැ, පාරක් නැහැ, ඉස්කෝලේ සිංහල ගුරුවරයෙක් නැහැ. ඉතින් කොහොමද ජීවත් වෙන්නේ?"
දරුවන් සිව් දෙනෙකු සිටින තිස් අට හැවිරිදි සිමොන්සා ඩයස් ද කතා කළේ ගමේ අධ්‍යාපනය පිළිබඳ ගැටලුව පිළිබඳවය.
"මම සිංහල. නමුත් සිංහල කතා කරන්න, ලියන්න ඕනෑ වුණට මට බැහැ. මේ ගමේ දැනට ඉන්න ළමයි හැත්තෑ පහකට ආසන්න ප්‍රමාණයකටත් එහෙම තමයි. ගොඩක් දෙනා මේ කතාව ඇහුවම පුදුම වෙයි. මේ ගමේ ඉස්කෝලේ සිංහල සහ අපේ ආගම උගන්වන්න එක ගුරුවරයෙක්වත් නැහැ. මේක ලොකු අසාධාරණයක්. මේ ගැන හිතලා අපි කුලියට හරි කල්පිටියෙන් ගෙයක් ගත්තොත් නිලධාරීන් අපේ මෙහෙ තියන ජන්දය කටු ගානවා."
දුෂ්කරතා
කල්පිටිය දූපත් හා අනෙකුත් ජනාවාස සියල්ලෙහිම ඡන්දදායකයින් වෙනුවෙන් ඇත්තේ එක් ඡන්ද මධ්‍යස්ථානයකි. එය මොහොත්තුවාරම ග්‍රාමයේ පිහිටා තිබේ. කල්පිටියේ සිට සැතපුම් 7ක් පමණ දුරකින් මෙය පිහිටා ඇත.
2015 වසරේ ඡන්ද ලේඛනයට අනුව මෙම ඡන්ද මධ්‍යස්ථානයට අයත් ලියාපදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාව 655කි. පසුගිය මහ මැතිවරණයේදී ඡන්දය භාවිත කර ඇත්තේ එයින් 363 දෙනෙකු පමණි.
පසුගිය මැතිවරණයේදී මෙම ඡන්දදායකයින්ට ඡන්දපොළට යෑම සඳහා දිසාපතිවරයාගේ උපදෙස් පරිදි ප්‍රවාහන පහසුකම් සලසා දී ඇත. උදේ 8ට උච්චමුණේ සිට පිටත් වූ ට්‍රැක්ටර ඡන්ද මධ්‍යස්ථානයට ළඟා වී ඇත්තේ 11.30ට පමණය. එම පිරිස ආපසු රැගෙන ගොස් දෙවන කණ්ඩායම රැගෙන විත් ඇත්තේ සවස 3.30ට පමණය. මෙය ඉතා දුෂ්කර ගමනක් බවත්, ඇතැම් ස්ථානවලදී වැල්ලේ එරුණු ට්‍රැක්ටර තල්ලුකිරීමටද සිදු වූ බවත් ඔවුහු පවසති. මෙවර මහ මැතිවරණයේදී මොහොත්තුවාරම ජන්ද මධ්‍යස්ථානයේදී 728 දෙනෙකු ජන්දය ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ. ඉන් වැඩි ප්‍රමාණයක් මොහොත්තුවාරම ග්‍රාමයේ වන අතර අනෙක් අයගෙන් බහුතරය උච්ච්මුනේ ග්‍රාමයේ ජීවත් වන්නන්ය.
ජාතික ධීවර සහයෝගිතාව දූපත් වාසීන්ගේ ජන්ද අයිතිය වෙනුවෙන් පෙනී සිටි ආයතනයකි. ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ධීවරයන්ට ඇති අයිතිය හා ඔවුනට භුමියේ ඇති අයිතිය පිළිබඳව නිතර අවධාරණය කරන එම ආයතනයේ කැඳවුම්කරු හර්මන් කුමාර ප්‍රකාශ කළේ කල්පිටිය ආශ්‍රිතව දූපත් 14ක් ඇති අතර අඩු වශයෙන් ඒ දූපත් 14 නියෝජනය වන පරිදි ජන්ද මධ්‍යස්ථාන තුනක් පිහිටුවිය යුතු බවය.
"ධීවරයාට රට මැදට ගිහින් රැකියාව කරන්න බැහැ. විශේෂයෙන් දූපත් වාසී ධීවරයනට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඒ අයට ඒ ආශ්‍රිතව ජීවත්වීම සඳහා අවශ්‍ය මූලික පහසුකම් සලසා දිය යුතුයි. ඒ වගේම ඔවුන්ගේ ජන්ද අයිතිය ආරක්ෂා කර දිය යුතුයි. ඒක මූලික අයිතියක්."
පුත්තලමේ ධීවර සංවිධානද දරන්නේ මෙවන්ම මතයකි. පුත්තලම ග්‍රාමීය ධීවර සංවිධානයේ සභාපති හියුමන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ ධීවරයා වෙරළ තීරයෙන් ඉවත් කිරීමට නොව ධීවරයා වෙරළේ රඳවා ගැනීමට වැඩපිළිවෙළක් තිබිය යුතු බවය.
"මීට වසර පහළොවකට පමණ පෙර පල්ලියවත්ත දූපතේ පවුල් දෙදහසකට වැඩි ප්‍රමාණයක් ජීවත් වුණා. නමුත් අද ඉන්නේ පවුල් පනහකටත් අඩු ප්‍රමාණයක්. ඒ වගේම තමයි එන්න එන්නම දූපත් වාසීන් ගොඩ බිමට පැමිණ ජිවත් වීමට උත්සාහ කරනවා. බලධාරීන් මේ ජනතාව මේ දුපත්වල රඳවා තබා ගැනීමට කිසිදු වැඩපිළිවෙළක් කරන්නේ නැහැ. අඩු වශයෙන් ඔවුනට ඒ ස්ථානවල ජීවත් වීමට අවශ්‍ය මුලික පහසුකම් ලබා දිය යුතුයි. මාර්ග, ජලය, විදුලිය ඒ අතර ප්‍රධානයි. ඒ වගේම මේ ආශ්‍රිතව සංචාරක කර්මාන්තය දියුණු කරන්නේ නම් ධීවරයට නිසි ස්ථාන වෙන කර මෙය කළ යුතුයි. ඒ වගේම කියන්න ඕනෑ බත්තලංගුණ්ඩුව දුපතේ ජීවත් වෙන වැඩි දෙනෙකු ජන්දය ප්‍රකාශ කරන්න යන්නේ නැහැ කියන එක. මොකද ඒ අයගේ බහුතරයකගේ ජන්දය තියෙන්නේ මීගමුවේ. ලොකු වියදමක් දරලා ඒ අයට මීගමුවට ගිහින් ජන්දේ දාන්න අමාරුයි. මේ පිළිබඳවත් බලධාරීන් සිතිය යුතුයි," යැයි හියුමන් ප්‍රනාන්දු පැවසීය.
බලධාරීන්ගේ ප්‍රතිචාරය
සඳුදා (අගෝ. 03) පැවති මාධ්‍ය හමුවකදී මීට අදාළ ප්‍රකාශයක් කළ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ මොහොත්තුවාරම ඡන්ද මධ්‍යස්ථානයට අදාළ පැමිණිලි ලැබුණු සෑම අවස්ථාවකදීම ඡන්ද පොළ පැවැත්වීම හා රජයේ වියදමින් ප්‍රවාහන පහසුකම් සපයා ඇති බවය.
"මට පුළුවන් පුත්තලම දිසාපතිවරයාට කියන්න මේ සම්බන්ධයෙන් මැදිහත්වෙන්න කියලා. හැබැයි මට සීයට සීයක් ගැරන්ටි එකක් කරන්න බැහැ. මොකද මේක සම්පූර්ණයෙන්ම ඉස්තාලයෙන් පිටවෙලා ඉවරයි. අපිට තියෙන්නේ ගේට්ටුව වහලා සුද්ධ කරන්න වගේ වෙච්ච දෙයක් නිසා දැන් මැදිහත්වෙලා මට බොරු කියන්න බැහැ මං මේ ගැන බලනවා කරන්නම් කියලා. අපි යමක් කරන්න පුලුවන්නම්, ඒ දේ කරන්න බලනවා," යැයි ඔහු කීය.
මීට පෙර මෙම ගැටලුව සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාරගෙන් කළ විමසීමේදී ඔහු ද කියා සිටියේ දූපත් වාසීන්ට හා ඒ ආශ්‍රිත ජනාවාසවල ජීවත්වන ජන්දදායකයනට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රවාහන පහසුකම් ලබා දීමට රජය කටයුතු කර තිබෙන බවකි.
"දූපත් ආශ්‍රිතව ජීවත්වන විශාල පිරිසකට ජන්දය ලියාපදිංචි වෙලා තියෙන්නේ මීගමුව, හලාවත හා කල්පිටිය වැනි ප්‍රදේශවල. මේ නිසා ඉතා සුළු පිරිසක් තමයි මේ අශ්‍රිතව ජන්දය ප්‍රකාශ කරන්න සුදුසුකම් ලබා තිබෙන්නේ. ඒ නිසා සියලු තත්ත්වයන් ගැන හිතලා මොහොත්තුවාරම මුස්ලිම් විදුහලේ මේ ජන්ද දායකයනට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව උදා කර දී තිබෙනවා. මේ ජන්ද දායකයනට යම් ගැටලුවක් තිබේ නම් ඒ ගැන පැමිණිලි කරන්න පුළුවන්," යැයි ද දිසාපතිවරයා කියා සිටියේය.
මෙම තොරතුරුද දැනගන්න:












