ශ්‍රී ලංකාව: කොරෝනා වෛරසය වැට බැඳි මානුෂීය බැඳීම්

Coronavirus Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, දැහැමි රණවීර
    • Role, බීබීසී සිංහල

"අක්කේ අම්මාට අමාරුයි. ඔයාට එන්නත් බැහැ නේද? මම වීඩියෝ එකෙන් අම්මව පෙන්නන්නම්," ඉන්ද්‍රානිගේ ඥාති සොහොයුරෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි.

එක්සත් රාජධානියේ මානව සම්පත් කළමනාකරණ අංශයේ රැකියාවක නිරත ඉන්ද්‍රානිගේ මව පසුගිය අප්‍රේල් මස ආරම්භයේ දී දැඩි අසනීප තත්ත්වයෙන් පසුවිණි. නමුත් කොරනාවෛරස වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව සහ එක්සත් රාජාධානිය අතර ගුවන් ගමන් නැවතී තිබිණි.

ඉන්ද්‍රානි දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමහල් දියණියයි. ඇයගේ බාල සොහොයුරා සහ සොහොයුරිය ද වෙනත් රටක පදිංචි වී සිටින අතර, මව සහ පියාගේ නිවස පිහිටා තිබුණේ මහරගම ප්‍රදේශයෙහිය. වීඩියෝ තාක්ෂණය ඔවුන්ට මව සහ පියා දැකීමට තිබූ එකම ක්‍රමය විය.

"කොරෝනාවෛරස් එක පැතිරෙන්න පටන්ගන්නකොටම වාගේ අම්මා සෑහෙන අසනීප වෙන්න පටන් ගත්තා. ඔය අතර එයාර්පෝට් වැහුවා. මගේ මහත්තයාට තිබෙන අසනීප තත්ත්වයක් උඩ වසංගත කාලයේ එළියට යන්න එපා කියල එංගලන්ත සෞඛ්‍ය අංශයෙන් දන්වලා තිබුණා. නමුත් මම හරි අම්මා බලන්න යන්න උපරිම උත්සහ දැරුවා," ඉන්ද්‍රානි බීබීසී සිංහල සේවයට පැවසුවාය.

"මහකොමසාරිස් කාර්යාලයෙන් කිව්වා ඒ වෙනකොට හදිසියේ ලංකාවට යන්න කිසිම විදිහක් නැහැ කියලා. එතකොට වෛරස් එක නිසා සෑහෙන රටවල් ප්‍රමාණයක් වහලා තිබුණේ. මගේ නංගියි, මල්ලිටයිත් ලංකාවට යන්න බැරි වුණා."

අප්‍රේල් අලුත් අවුරුදු සමරන දින ආසන්නයේ ඉන්ද්‍රානිගේ මව සදහටම සිය දෑස් පියාගත්තාය. ඇයගේ අවසන් මොහොත දරුවන් සියලු දෙනා වීඩියෝ ඔස්සේ නරඹා තිබිණි. ඇඳිරි නීතිය පැවති කාලය හෙයින් අවමංගල්‍ය උත්සවයක් පවා ගැනීමට නොහැකි වී ඇත.

"මට ජීවිතේ තියෙනකම් මේ වේදනාව නැති වෙන්නේ නැහැ. අම්මා නැහැ කියලා මතක් වෙද්දී දරාගන්න බැරි දුකක් එනවා. අඩුම තරමේ හරියට දානයක් දීලා හිත සනසගන්න බැරි වුණා. අම්මා නැති වුණ දා ඉඳලා මගේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් වුණා,"

"හැමදේම නැති වෙනවා කියන සත්‍යය මට තේරෙනවා. නමුත් පෘතඃජන මනුස්සයෙක් හැටියට සහ දැඩි බැඳීම් මත ජීවත් වන පසුබිමකින් ආපු කෙනෙක් විදිහට මට හිත හදා ගන්න අමාරුයි," ඉන්ද්‍රානි හැඬු කඳුලින් පැවසීය.

Coronavirus Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඇය මේ වන විට මානසික සෞඛ්‍ය උපදේශන සේවාවලට පවා යොමුවෙමින් සිටින බව පැවසුවාය.

"අම්මා නැතිවුණ වෙලාවේ තාත්තා කියපු වචන මගේ හිතේ දෝංකාර දෙනවා. 'පුතේ ඔයාලට අම්මව බලන්න බැරි වුණා නේද. කමක් නැහැ අම්මා තේරුම් අරගෙන හිටියේ. අපේ කාලය දැන් ඉවරයි. නමුත් තව කාලයක් ජීවත් වෙන ඔයාලගේ පරිස්සම ගැන වැඩියෙන් හිතලා පරිස්සමින් වැඩ කරන්න.' අනේ ඒ මගේ තාත්තාගේ වචන ටික,"

"එකම පොඩි සතුටකට තියෙන්නේ අපි ළඟින් නොහිටියත් අපි දෙමාපියන්ට උපරිම සැළකුවා. අවසාන මොහොතේ ශාරිරිකව ළඟින් නොහිටියට තුන්දෙනාම හැකි උපරිමයෙන් සොයා බැලුවා. නමුත් හිතට එන ඉවසන්න බැරි දුක පාලනය කරගැනීමයි අමාරු," ඇය තවදුරටත් පැවසුවාය.

කොරෝනාවෛරස සීමා කිරීම් පවතින කාලය තුළ සිය දෙමාපියන්, සමීප ඥාතීන් සහ මිතුරන්ගේ මංගල්‍ය, අවමංගල්‍ය කටයුතුවලට පමණක් නොව වෙනත් විවිධ අවස්ථා බොහොමයක් මඟ හැරී ගිය බොහෝ පිරිසක් සිය අත්දැකීම් විස්තර කළහ.

ස්කොට්ලන්තය ආසන්නයේ නගරයක දිවිගෙවන මයුමි පැවසුවේ ඇය ඇතුළු පවුලේ සැමට සිය නැගණියගේ මංගල උත්සවයට යා නොහැකි වූ බවය.

'මගේ එකම නංගිගේ වෙඩිං එක ගන්න තිබුණේ මැයි මාසයේ. හැබැයි මේ කොරෝනා ප්‍රශ්නේ නිසා උත්සවය කල් දාලා ලියාපදිංචි කරන එක විතරක් කළා. ටික දෙනෙක්ගේ සහභාගිත්වයෙන් බොහොම චාමෙට වෙඩිං එක ගිය මාසේ ගත්තා. මටයි මගේ පවුලේ අයටයි යන්න බැරි වුණා," මයුමි පැවසීය.

Coronavirus Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"මට දුකයි, මම ගැනම ඇති වුණ තරහක් මිශ්‍ර හැගීමක් තියෙන්නේ. ලංකාවට යන්න එයාර්පෝට් ඇරලා තිබුණත් දවස් 28ක් නිරෝධායනය වෙන්න වෙන නිසා යන එක කිසිම තේරුමක් නැහැ. එච්චර කල් අපිට රස්සාවලින් නිවාඩුවත් දෙන්නේ නැහැ. මේ කොරෝනාවෛරස් එක නිසා අපිට වෙච්ච දෙයක්."

ඇය ද සූම් තාක්ෂණය ඔස්සේ මංගල උත්සවයට සහභාගී වූ බව පැවසීය.

"මමත් වෙඩිං එකට වගේ ඇඳගෙන සූම්වලින් උත්සවයට සහභාගී වුණා. එහෙ ඉන්න අය මාත් එක්ක ලැප්ටොප් එකෙන් කතා කළා. මොනවා වුණත් හිතට මහා දුකක් දැනෙනවා ඒ මොහොතේ එතන ඉන්න බැරි වුණ එකට," ඇය පැවසුවාය.

එක්සත් රාජධානියේ ව්‍යාපාරිකයෙක් වන සමන්ගේ පියා හදිසි හෘදයාබාධයකින් ජුනි මස දී මිය ගියේය.

"මට යන්න බැරි වුණ එක ගැන කතා කරන්නවත් කැමති නැහැ. ඒ තරම් හිතට වේදනයි. තාත්තාගේ අවසන් කටයුතු එහෙ කට්ටිය හොඳට කළා. මගේ ආගම අනුව මම මෙහෙ ඒ වතාවත් කළා. නමුත් හිතේ තියෙන හිඩැස පුරවන්න බැරි වෙයි ජීවිත කාලෙටම," ඔහු පැවසුවේය.

පසුගිය දිනවල ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමත් සමග පිටරට සිටින ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකු නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ක්‍රියා කළේය.

එසේ පැමිණෙන සියලු දෙනා අදාළ රටෙහි ශ්‍රී ලංකා තානාපති කාර්යාල හරහා ශ්‍රී ලංකාවට යාම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය. එම ඉල්ලීම ශ්‍රී ලංකාවේ අදාළ බලධාරීන් වෙත යවා අනුමත කළ පසු ගුවන් ටිකට්පත මිලදී ගන්නා ලෙස තානාපති කාර්යාලවලින් නැවත එම පුද්ගලයන්ට දැනුම් දෙනු ලැබේ.

Coronavirus Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඒ අනුව, ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් අදාළ රටට ගුවන් යානයක් පැමිණෙන දිනයට සිය ටිකට් පත වෙන් කරවා ගත හැකිය. එම ගුවන් ටිකට් පත් බොහෝවිට වෙනත් දිනවලට වඩා මිලෙන් අධිකය.

එක්සත් රාජධානියේ හීත්‍රෝ ගුවන් තොටුපලේ සිට කටුනායක ගුවන් තොටුපල දක්වා නොනවත්වා පැය 11ක දීර්ඝ ගුවන් ගමනේ දී වෙනදා මෙන් ආහාර පාන හෝ සේවාවන් බොහොමයක් ලැබී නොතිබිණි.

කටුනායක ගුවන් තොටුපලට පැමිණි පසු පැය 3 සිට 6 දක්වා කාලයක් PCR පරීක්ෂණ සහ විශබීජහරණය සඳහා ගතවේ. ඉන්පසු විදෙස් රටවලින් පැමිණෙන සියලුදෙනා නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන යනු ලබයි.

එම මධ්‍යස්ථානවල දැඩි රැකවල් යටතේ දින 14ක් නිරෝධායනය විය යුතු අතර, ඉන් පිටතට ඇවිත් තවත් දින 14ක් නිවසේ ස්වයං නිරෝධායනය විය යුතුය.

කෙසේනමුත්, ශ්‍රී ලංකාව තුළ කොරෝනාවෛරසය සීඝ්‍රයෙන් පැතිර යාමත් සමග ජූලි 14 සිට නැවත ගුවන් ගමන් තාවකාලිකව නවතා දමන බව රජය නිවේදනය කළේය.

මෙම තොරතුරු ද දැනගන්න: