2020 ශ්‍රී ලංකා මහ මැතිවරණය: කොරෝනා වසංගතය සමයේ ලබන සතියේ ඡන්ද පොළේ දී ඔබ අනුගමනය කළ යුතු පියවර

Sri Lanka general election 2020

ඡායාරූප මූලාශ්‍රය, AFP

    • Author, කුමුදු ජයවර්ධන
    • Role, BBC සිංහල

2020 මහ මැතිවරණය ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති මැතිවරණවලට වඩා සුවිශේෂී ඡන්ද විමසීමක් බවට පත්ව ඇත්තේ, ලෝකය පුරා ව්‍යාප්ත වී පවතින කෝවිඩ් -19 වසංගතය අතරතුර පැවැත්වෙන මැතිවරණයක් වන හෙයිනි.

මහ මැතිවරණය ජූනි මස 20 වන දා පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණු අතර කොරෝනාවෛරස් වසංගතය හමුවේ උද්ගත වූ ගැටලු හේතුවෙන් එය අගෝස්තු මස 05 වන දා පැවැත්වීමට තීන්දු කෙරිණි.

මෙම තීන්දුව ගනු ලැබුවේ, ඡන්ද විමසීම හරහා කොරෝනාවෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය නිර්දේශ මාලාවක් නිකුත් කරනු ලැබීමෙන් අනතුරුවය.

ඒ අනුව, මෙවර ඡන්ද විමසීමේදී විශේෂ ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කෙරෙනු ඇත.

මෙම ලිපියෙහි අරමුණ සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව ඡන්ද දායකයින් ඡන්ද පොළට පැමිණීමට පෙර දැනුවත් විය යුතු කරුණු පිළිබඳව අවබෝධයක් ලබා දීමය.

කියවන්න:

කොරෝනාවෛරසය පැතිරීම වැළැක්වීම පිණිස ඡන්ද දායකයින් ඡන්ද මධ්‍යස්ථානයේදී ඔබ ක්‍රියා කළ යුතු ආකාරය

ඡන්ද දායකයින් ඡන්ද පොළ තුළ දී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශවලට අනුකූලව පහත දැක්වෙන උපදෙස් පිළිපැදිය යුතු වනු ඇත.

*ඡන්ද දායකයින් එකිනෙකා අතර මීටරයක දූරස්ථභාවයක් පවත්වා ගත යුතුය.

*සියලු ම නිලධාරීන් සහ ඡන්ද දායකයින් මුඛ ආවරණ පැළදිය යුතුය.

*ඡන්දය ලබා දෙන ස්ථානයේ සිටින ඡන්ද දායකයින්, නිලධාරීන් සහ පරිශ්‍රය තුළ සිටින වෙනත් පුද්ගලයින් අතර මීටරයක දුරක් පවත්වාගත යුතුය.

*සියලු ම ඡන්ද දායකයින් ඡන්දය දෙන ස්ථානයට පැමිණීමට පෙර දෑත් සේදීම හෝ විෂබීජහරණය කළ යුතුය.

*ඡන්ද දායකයින්ට ඡන්දය සලකුණු කිරීමට තමාගේ ම පෑනක් හෝ පැන්සලක් භාවිත කිරීමට උනන්දු කළ යුතුය.

*ඡන්දය ලකුණු කරන කුටිය සෑම පැයකට වරක් ම විෂබීජහරණය කළ යුතුය.

*සියලු ම ඡන්ද දායකයින් ඡන්ද කුටියෙන් පිටවීමෙන් පසු දෑත් සබන් යොදා සෝදා ගැනීම හෝ විෂබීජහරණය කළ යුතුය.

*උණ සහිත ඡන්ද දායකයින් ඇතොත් ඔවුන් ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ එම ඡන්ද වාරයේ අවසන් ඡන්ද දායකයින් ලෙසය.

ඔබේ හැඳුනුම්පත පරීක්ෂා කෙරෙන ආකාරය

ඡන්ද දායකයින්ගේ හැඳුනුම්පත් පරීක්ෂා කිරීමේදී මෙවර වෙනස් ක්‍රමවේදයක් අනුගමනය කෙරෙනු ඇත.

Sri Lanka general election 2020

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඒ අනුව, ඡන්ද දායකයාගේ හඳුනුම්පත ස්පර්ශ නොකර පරීක්ෂා කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යංශය නිර්දේශ කර තිබේ.

යම් අවස්ථාවකදී හඳුනුම්පත ස්පර්ශ කිරීමට සිදු වුවහොත් එම නිලධාරියා වහා ම තම දෑත් විෂබීජහරණය කළ යුතුය.

වෛරසය පැතිරීම වැළැක්වීම පිණිස ඡන්ද මධ්‍යස්ථානය තුළ සැකැස්ම කුමක්ද?

ඡන්ද මධ්‍යස්ථාන තුළ සැකැස්ම ද මෙවර විශේෂ වෙනසකට ලක් කෙරෙනු ඇත. එම වෙනස්කම් පහත දැක්වේ.

*ඡන්ද දායකයින්ට එක් දොරටුවකින් ඇතුළු වී වෙනත් දොරටුවකින් පිටව යාමට හැකි පරිදි ඡන්ද මධ්‍යස්ථාන සකස් කෙරේ.

*ඇතුළත සහ පිටත ඡන්ද දායක පෝලිම් සදහා මීටරයක දුර දැක්වෙන පරතරයන් සලකුණු කෙරේ.

*ඡන්ද දායකයින් සහ ඡන්ද පොළ නිලධාරීන් අතර පාරදෘශ්‍ය ආරක්ෂිත තිරයක් (ඝනකමින් වැඩි පොලිතින් භාවිත කර) යෙදිය යුතුය.

*ඡන්ද මධ්‍යස්ථානයේ පිවිසුම අසල ඡන්ද දායකයින්ට දෑත් සේදීමේ පහසුකම් සැලසේ. සෑම ඡන්ද දායකයෙකු ම ඡන්ද මධ්‍යස්ථානයට ඇතුළු වීමට පෙර සබන් යොදා දෑත් සේදීම හෝ විෂබීජහරණය කළ යුතුය.

ඡන්දය ගණන් කිරීම ගැන පසුගියදා ගාල්ලේ පැවති පෙරහුරුවක්
ඡායාරූප ශීර්ෂ වැකිය, ඡන්දය ගණන් කිරීම ගැන පසුගියදා ගාල්ලේ පැවති පෙරහුරුවක්

ඇඟිලි පාට කිරීම සිදුකෙරෙන ආකාරය

ඇඟිල්ල වර්ණ ගැන්වීම සිදුකිරීමේදී ඡන්ද දායකයා වම් අත මිට මොළවා එහි සුළැගිල්ල අත මේසයේ නොගෑවෙන පරිදි ඉදිරිපත් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය නිර්දේශ කරයි.

එහිදී ද ඇඟිල්ල ස්පර්ශ කිරීමෙන් තොරව ඇඟිල්ල පාට ගැන්වීමට අපේක්ෂා කෙරේ.

ඒ අනුව, කපු පුළුන් කූරකින් ඇගිල්ලේ තීන්ත ආලේප කරන අතර එම පුළුන් කූර වසා තැබිය හැකි කසළ බඳුනකට දැමිය යුතුය.

එසේ නැතහොත් තීන්ත බින්දුවක් ඇඟිල්ල මතට වත් කරනු ඇත.

ඔබ ඡන්දය දැමූ පසුව කළ යුත්තේ කුමක්ද?

ඡන්දය භාවිත කර යළි නිවෙස් වෙත යන ඡන්ද දායකයින් ඔවුන්ගේ දෑත් සබන් යොදා පිරිසිදු කිරීම හෝ විෂබීජහරණය කිරීම කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යංශය නිර්දේශ කරයි.

මේ තොරතුරුද කියවන්න: