කොරෝනා වෛරසය ආසාදිත යයි සැක කෙරෙන පිලිපීන නාවිකයෙකු රෝහල් ගත කෙරෙයි, ජර්මන් කත මරුට

ඡායාරූප මූලාශ්‍රය, SL NAVY
'MSC Magnifica' නැමති සුඛෝපභෝගී සංචාරක නෞකාවේ සිට හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට රැගෙන ආ ජර්මන් ජාතික කාන්තාව මරණයට පත්ව තිබේ.
ඔස්ට්‍රේලියාවේ සිට ඉතාලිය බලා යාත්‍රා කරමින් තිබූ නෞකාවේ සේවය කල ශ්‍රී ලාංකිකයෙකුට සහ එහි ගමන් ගත් ජර්මන් ජාතික කාන්තාවට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර ලැබුණේ පසුගිය අප්‍රේල් 06 වෙනිදාය.
හැත්තෑ පස් හැවිරිදි කාන්තාවගේ හෘද රෝගී තත්ත්වය පිළිබඳ අවධානය යොමු කර, රට තුළට ඇතුළු වීමට අවසර ලබා දුන් බවත් ඇය කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමට පියවර ගත් බවත් ශ්‍රී ලංකා නාවික හමුදාව එදින පැවසීය.
කෙසේ නමුත් ඇයගේ මරණයට කොරෝනාවෛරසයේ සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ජර්මානු තානාපති ඇන්ඩ්‍ර්යස් බර්ග් අඟහරුවාදා (අප්‍රේල් 14) බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
"ඇගේ මරණය සිද්ධ වෙලා තියෙන්නේ කොරෝනාවෛරසය හා සම්බන්ධ කාරණයකින් නොවෙයි. කොවිඩ්-19 ට අදාළ පරීක්ෂණයේදී ඇයට එය වැළඳී නොමැති බව තහවුරු වුණා" යනුවෙන් නියෝජ්‍ය තානාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.
ඇයගේ සැමියා හෝ ඥාතියෙකු ශ්‍රී ලංකාවේ නොමැති අතර දේහය පිළිබඳ ඉදිරි කටයුතු තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශය හරහා සම්බන්ධීකරණය කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


වෛරසය අසාදිත යයි සැක කෙරෙන පිලිපීන ජාතිකයෙක්
මේ අතර විදේශීය වෙළඳ නෞකාවක සිටි කොරෝනාවෛරසය ආසාදිත යැයි සැක කෙරෙන නාවිකයෙකු සඳුදා (අප්‍රේල් 13) අලුයම ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැදිහත් වීමෙන් කොළඹ වරායට රැගෙනවිත් තිබේ.
'MSC Taranto' නමැති ජාත්‍යන්තර බහාලුම් නෞකාවේ සිටි පිලිපීන ජාතිකයෙකු වන එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කළේය.


එක් ගමක් විවෘත කරන විට තවත් ගම් දෙකක් වැසේ
මේ අතර ජනයා නිවෙස් තුළට සීමා කර හුදකලා කෙරනු කළුතර දිස්ත්‍රික්කයට අයත් අටළුගම අඟහරුවාදා (අප්‍රේල් 14) යළි විවෘත කෙරුණි.
හමුදාව ඉන් ඉවත් වී ඇති අතර තවදුරටත් එම දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය බලපැවැත්වෙන බැවින් සංචරණ සීමා වී ඇත.


ඒ සමග කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පිහිටි පන්නිල හා චීනකොටුව යන ගම්මාන ද හුදකලා කිරීමට කොවිඩ්-19 මැඩලීමේ ජනාධිපති කාර්යය සාධක බළකාය විසින් පියවර ගනු ලැබිණි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය අඟහරුවාදා පෙරවරු 10.00 ට නිකුත් කළ දෛනික වාර්තාවට අනුව කොළඹ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති රෝගීන්:
- කොළඹ - 45
- කළුතර - 44
- පුත්තලම - 34
මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 07 දෙනෙකු වාර්තාවී ඇති අතර අකුරණ ගම්මානය තවදුරටත් වසා දමා තිබේ.
ඒ අනුව දිවයින පුරා වාර්තා වී ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 218 කි. 59 දෙනෙකු සුවය ලබා ඇත. 07 දෙනෙකු මරණයට පත්ව තිබේ.
සබැඳි යොමු:








