සාග් ක්‍රීඩා උළෙල: නේපාලයට ගිය ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් දැඩි සත්කාර ඒකකයේ

ඡායාරූප මූලාශ්‍රය, www.13sagnepal.com
සාග් ක්‍රීඩා උළෙලේ තරග කිරීමට නියමිතව සිටි ශ්‍රී ලාංකික මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනෙකුගෙන් හය දෙනෙකු ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් ඊට සහභාගී වී නොමැත.
13 වෙනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල මෙවර පැවැත්වෙන්නේ නේපාලයේදීය.
ශ්‍රී ලංකා කණ්ඩායම සමග එහි ගිය වෛද්‍ය ලාල් ඒකනායක බීබීසී නේපාල සේවයට කියා සිටියේ ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකාවේදීම ඩෙංගු වෛරසය ශරීරගත වී ඇතැයි විශ්වාස කෙරෙන බවය.
ඉන් බහුතරය කත්මන්ඩු අගනුවර පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබ තිබේ. 'බ්ලූ ක්‍රොස්' රෝහලේ බලධාරියෙකු වන රජත් ශ්‍රේෂ්ඨ (Rajat Shrestha) පවසන පරිදි ක්‍රීඩකයන්ගෙන් වැඩි දෙනෙකු සුවය ලබමින් සිටින අතර ඔවුන් ඉතා ඉක්මනින් රෝහලෙන් පිටවීමට නියමිතය.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනාගෙන් තිදෙනෙකු මේ වන විටත් රෝහලින් පිටව ගොස් ඇත. එක් ක්‍රීඩකයෙකුගේ තත්ත්වය බරපතල වන බැවින් ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු වීම හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායමේ සාමාජිකාවක් ද දැඩි සත්කාර ඒකකයට මාරු කිරීමට පියවර ගෙන තිබිණි.
"ඇය දැන් අනතුරුදායක මට්ටමින් මිදිලා. දැන් සාමාන්‍ය වාට්ටුවක ඇය ප්‍රතිකාර ලබනවා," යනුවෙන් වෛද්‍ය ඒකනායක පැවසීය.
ඇය රැඳී සිට ඇත්තේ කත්මන්ඩු නුවර සිට කිලෝමීටර 200 ක් පමණ බටහිරින් පිහිටි සංචාරක පුරවරයක් වන පොකාරා නගරයේය. සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරීමත් සමග ඇය ගුවන් මගින් අගනුවර වෙත ගෙන එනු ලැබිණි.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම කත්මන්ඩු නුවර වෙත ළඟා වූයේ නොවැම්බර් 29 වෙනි දිනය. නේපාලය, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, මාලදිවයින සහ භූතානය ඒ සඳහා සහභාගි වන සෙසු රටවල්ය.
කත්මන්ඩු වෙත පැමිණ දින දෙකකට පසු ශ්‍රී ලංකා මේස පන්දු ක්‍රීඩකයෙකුට ඩෙංගු වැළඳී ඇතැයි තහවුරු විය. ඉන් අනතුරුව තවත් හය දෙනෙකුට ද රෝගය වැළඳී ඇතැයි සොයා ගැනිණි. වෛද්‍ය ඒකනායක පවසන පරිදි ක්‍රීඩකයන් මුලින් උණ තත්ත්වයෙන් පෙළී ඇති අතර ඒ සඳහා ප්‍රතිකාර ගැනීමට රෝහලට ගිය අවස්ථාවේ ඔවුන්ට ඩෙංගු වැළඳී ඇතැයි හඳුනා ගෙන තිබේ.
ඉන් අනතුරුව නේපාලයේ සහ ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු වැඩිදුර ප්‍රතිකාර දීම සඳහා සම්බන්ධ වී ඇත.
"ඩෙංගු හඳුනා ගත්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් වැඩි දෙනෙකු නේපාලයට එන්න කලින් එකම හෝටලයක නැවතී සිටි අය. ඉතින් ඔවුන්ට එතනින් මේ රෝගය වැළඳෙන්න ඇති. නමුත් රෝග ලක්ෂණ පෙනෙන්න ආවේ කත්මන්ඩුවලදී. මෙහි තිබෙන කාලගුණ තත්ත්වය ඩෙංගුවලට හේතු වේවි කියා මම සිතන්නේ නැහැ" වෛද්‍ය ඒකනායක බීබීසී නේපාල සේවයට පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
දැනට ප්‍රතිකාර ලබමින් සිටින එක් ක්‍රීඩිකාවක් සිය රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නොහැකි වීම පිළිබඳ කණගාටුව පළ කළාය.
"රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නොහැකි වීම ගැන මට කණගාටුවක් දැනෙනවා. මම හොඳින් සුවය ලබමින් සිටිනවා. ගෙදර අයට දුරකතනයෙන් කතා කරනවා. හැකි ඉක්මනට ගෙදර යන්න බලාපොරොත්තු වෙනවා," ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
සාග් ක්‍රීඩා උළෙල අඟහරුවාදා (දෙසැම්බර් 10) නිම වීමට නියමිතය. ක්‍රීඩකයන් සම්පූර්ණයෙන් සුවය ලබන තෙක් ඇතැම් ශ්‍රී ලංකා බලධාරීන් එහි රැඳී සිටිනු ඇත.
නේපාලයට ගොස් සිටින ක්‍රීඩා සහ තරුණ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ක්‍රීඩකයන්ගේ සුවදුක් විමසීමට රෝහල වෙත ගොස් ඇතැයි වාර්තා වේ.
මේ වසරේ දී ඩෙංගු රෝගය කත්මන්ඩු ඇතුළු නේපාලයේ ප්‍රදේශ ගණනාවක ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් බවට පත් විය. ව්‍යසනයක් මට්ටමින් පැතිරුණු ඩෙංගු රෝගය පාලනය කළ නොහැකි මට්ටමකට ළඟා වී ඇති බව නේපාල ආණ්ඩුව මීට ඉහතදී පැවසීය.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරයට එක්වීමට නියමිතව සිටි වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ද ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් සංචාරයට සහභාගි නොවේ. ඔහු වෙනුවට තරුණ ක්‍රීඩක අසිත ප්‍රනාන්දු කණ්ඩායමට නම් කර තිබේ.








