ජනාධිපතිවරණය: ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය ශ්‍රේෂ්ඨාධිකරණයට

ගෝඨාභය රාජපක්ෂ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙකු වශයෙන් පිළිගැනීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය ගත් තීරණය අභියෝගයට ලක් කරමින් බදාදා (13) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කර තිබෙන්නේ, පසුගිය ඔක්තෝබර් 4 වන දා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුණ ඔබේසේකර යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ලබා දුන් තීන්දුවට එරෙහිවය.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ විසින් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙකු වශයෙන් පිළිගැනීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර එම පෙත්සම් ප්‍රතික්ෂේප විණි.

"අභියාචනාධිකරණ නඩු තීන්දුව සලකා බලා අපි අද ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් යොමු කළා," ගාමිණී වියන්ගොඩ බීබීසි සිංහල සේවයට කියා සිටියේය.

ජනාධිපතිවරණයේ අවසන් මොහොතේ මෙවැනි පෙත්සමක් ජනාධිපතිවරණයේ තරග කරන අපේක්ෂකයෙකුට එරෙහිව ඉදිරිපත් කිරීම ගැන විමසීමේදී ගාමිණී වියන්ගොඩ කියා සිටියේ මෙම පෙත්සමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා තිබෙන කාල සීමාව අවසන් වීමට පෙර එය සිදුකළ බවය. 

ජනාධිපතිවරණය ඡන්ද විමසීමට දින කිහිපයකට පෙර මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොනු කිරීම මහ ජනතාව මුලා කිරීමේ අරමුණින් සිදුකරන ලද්දක් බව ගෝඨාභය රාජපක්ෂගේ නීතිවේදී අලි සබ්රි බීබීසි සිංහල සේවයට කියා සිටියේය. 

මෙම පෙත්සම මගින් ගෝඨාභය රාජපක්ෂට කිසිදු බලපෑමක් නොමැති බව පැවසූ නීතිවේදී අලි සබ්රි මෙවැනි ක්‍රියාමාර්ග මගින් ජනතාව මුලා කිරීමට නොහැකි බව සඳහන් කළේය.

ආචාර්ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් ආරම්භ කළ උපවාසයට අදට දින 4ක්.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ආචාර්ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් ආරම්භ කළ උපවාසයට අදට දින 4ක්.

මේ අතර, ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය පිළිබඳ ලේඛන ප්‍රශ්න කරමින් ආචාර්ය ඉඟුරුවත්තේ සුමංගල හිමියෝ දින හතරක් මුළුල්ලේ මේ වන විටත් උපවාසයක නිරත වී සිටිති.

උන් වහන්සේගේ සෞඛ්‍යය තත්ත්වය පරීක්ෂා කිරීම පිණිස බදාදා වෛද්‍යවරුන් පිරිසක් පැමිණ සිටියහ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම උපවාසය ගැන අදහස් දක්වමින් කියා සිටියේ, එහිමියන්ට "කවුරුන් හෝ ලණුවක් ලබා දී තිබෙන" බවය.

කියවන්න: