ජනාධිපතිවරණය: "උතුරු නැගෙනහිර ඡන්ද අවසාන ජයග්‍රාහකයා තීරණය කිරීමට වැදගත්"

ශ්‍රී ලංකාවේ ඕනෑ ම මැතිවරණයක් ජයග්‍රහණය කිරීම සඳහා දෙමළ සහ මුස්ලිම් බහුතරය වෙසෙන උතුරු සහ නැගෙනහිර පළාත්වල ඡන්ද දායකයන්ගේ සහය ලබා ගැනීම අතිශය වැදගත්ය.
නොවැම්බර් මස පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ද උතුරේ සහ නැගෙනහිර ඡන්ද එක සේ වැදගත්ය.
උතුරු නැගෙනහිර ඡන්ද දායකයින් වැඩි ප්‍රමාණයක් මෙවර සිය ඡන්දය භාවිත කළහොත් එය 2019 ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා තීරණය වීමට තීරණාත්මක සාධකයක් විය හැකි බව දේශපාලන විශ්ලේෂක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන අංශයේ හිටපු ප්‍රධානී මහාචාර්ය නවරත්න බණ්ඩාර පවසයි.
"ආසන්න වශයෙන් 70%ක් වත් ඡන්ද දායකයෝ ඡන්ද පොළට අවොත් ඒක ලොකු බලපෑමක් කරනවා අවසාන ප්‍රතිඵලය කෙරෙහි."
2019 ජනාධිපතිවරණයට උතුරු නැගෙනහිර ඡන්දයේ බලපෑම ගැන අදහස් දක්වමින් මහාචාර්ය නවරත්න බණ්ඩාර පැවසුවේ, "මේ ඡන්ද විමසීම පවත්වන්නේ විකල්ප ඡන්ද විමසීම කියන ක්‍රමය භාවිත කරලා. ඒ නිසා ඡන්ද දායකයට තමන්ගේ පළවෙනි දෙවැනි තුන්වෙනි වශයෙන් විකල්ප අපේක්ෂකයා නම් කරන්නත් වේවි. එතකොට පළවෙනියට එන කෙනාට 50% ට වඩා ගන්න බැරි වුණොත් දෙවැනි ගණන් කිරීමකට යන්න වෙනවා. මේක අපි කියන්නේ නියත බහුතර ඡන්ද ක්‍රමයක් (Absolute majority system). ඉතින් මේ උතුරු නැගෙනහිර ඡන්දත් වැටෙන කොට විශේෂයෙන්ම මේ දෙමළ සහ මුස්ලිම් ජන කොටස් හැසිරෙන ආකාරය මේ දකුණේ ඡන්ද දායකයා හැසිරෙන ආකාරයට වඩා වෙනස්," යනුවෙනි.
උතුරු පළාතට දිස්ත්‍රික්ක දෙකක් අයත්ය. ඒ යාපනය සහ වන්නියයි. එම මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහි, මැතිවරණ කොට්ඨාස 14 කි.
නැගෙනහිර පළාතට දිස්ත්‍රික්ක තුනක් අයත් වේ. ඒ, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ දිගාමඩුල්ලය. එම දිස්ත්‍රික්ක මැතිවරණ කොට්ඨාස 10 කින් යුක්තය.
"ජාතිවාදය සහ ආගම්වාදය"
බහුතර සිංහල බෞද්ධ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ජාතිවාදය සහ ආගම්වාදය ඉස්මතු වන සේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කරන අපේක්ෂකයින්ට උතුරු සහ නැගෙනහිර යන පළාත්වලදී එය අහිතකර ලෙස බලපෑමට ඉඩ ඇති බව ද මහාචාර්ය නවරත්න බණ්ඩාර පැවසීය.
"දැන් දකුණේ යම්කිසි ඡන්ද දායකයන් ප්‍රමාණයක් හසුරුවන්න උත්සහ කරනවනේ ජාතිය, ආගම සහ ත්‍රස්තවාදය යොදාගෙන. මේ වගේ මතු කරලා. සිංහල බෞද්ධ සහ ක්‍රිස්තියානි හැඟීම් අවුස්සනවා. නමුත් දෙමළ මුස්ලිම් ඡන්ද දායකයෝ ඔය විදියට බලන්නේ නෑ. නමුත් ආගම්වාදය සහ ජාතිවාදය අවුස්සන අයට අනිවාර්යෙන්ම ප්‍රතිවාදීන් වෙන්නේ දෙමළ සහ මුස්ලිම් ය. ඒ නිසා ඒ ඡන්ද දායකයෝ ඔවුන්ගේ පැත්තේ නෑ. ඒක නිසා ඔවුන් ඡන්ද පොළට අවොත් තීරණාත්මකයි. ඒගොල්ලෝ නාවොත් දකුණේ වැඩිපුර ඡන්ද ගන්න කෙනා දිනනවා."
මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 35 දෙනෙක් නාම යෝජනා භාර දුන්හ. මෙය ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩි ම අපේක්ෂකයින් ප්‍රමාණයක් තරගවදින අවස්ථාව වේ.
දකුණේත් ඡන්ද දායකයා දෙකට බෙදෙනවා. දැන් මේ විකල්ප අපේක්ෂකයෝ ගොඩක් ඉන්නවා.එම නිසා නියත බහුතරය ගන්න නම් සුළුතර ජන කොටස්වල ඡන්දයත් වැදගත්.
මහාචාර්ය නවරත්න බණ්ඩාර වැඩි දුරටත් පැවසුවේ, "දකුණේත් ඡන්ද දායකයා දෙකට බෙදෙනවා. දැන් මේ විකල්ප අපේක්ෂකයෝ ගොඩක් ඉන්නවා. ඒ නිසා ඡන්ද සංඛ්‍යාව වැඩිවෙනවා. විකල්ප අපේක්ෂකයෝ නැත්නම් සමහර ඡන්ද දායකයෝ ඡන්ද පොළට නොඑන්න පුළුවන්. ඒ නිසා පළමු වටයේ වලංගු ඡන්ද ප්‍රමාණය ඉහළ යනවා. එම නිසා නියත බහුතරය ගන්න නම් සුළුතර ජන කොටස්වල ඡන්දයත් වැදගත්," යනුවෙනි.
2005, 2010, සහ 2015 ජනාධිපතිවරණවලදී සමස්ත ප්‍රතිඵලය කෙරෙහි උතුරු සහ නැගෙනහිර පළාත්වල ඡන්ද බලපෑමක් ඇති කළ බව විශ්ලේෂකයන්ගේ අදහසය. මේ, එම ජනාධිපතිවරණවලදී උතුරු නැගෙනහිර ඡන්ද දායකයන් හැසුරුණු ආකාරය පිළිබඳ කෙරෙන විමසුමකි.
2005 ජනාධිපතිවරණය
උතුරු සහ නැගෙනහිර ඡන්ද, සමස්ත ප්‍රතිඵලයට වැඩිපුරම බලපෑමක් කළ මැතිවරණය ලෙස සැලකේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 13ක් ඉදිරිපත් විය.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ අතර පැවතියේ තියුණු සටනකි.
අවසාන ප්‍රතිඵලය අනුව මහින්ද රාජපක්ෂ ඡන්ද 4,887,152 හෙවත් 50.3% ප්‍රතිශතයක් ලබා ගෙන තිබූ අතර රනිල් වික්‍රමසිංහ ඡන්ද 4,706,366 හෙවත් 48.4% ප්‍රතිශතයක් ලැබීය.
දෙදෙනා අතර පරතරය වූයේ ඡන්ද 180,786 කි.
එකළ, උතුරු සහ නැගෙනහිර යන පළාත්වල ඇතැම් ප්‍රදේශ එල්ටීටීඊ සංවිධානය යටතේ පැවති අතර ඔවුහු එම ප්‍රදේශවල ජනතාවට ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීම තහනම් කළහ.
එය සිය අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ පරාජයට බලපෑ බව එක්සත් ජාතික පක්ෂයේ අදහසය.
මෙහිදී උතුරු පළාතේ යාපනය සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහි ලියාපදිංචි ඡන්ද 952,324ක් තිබුණ ද ඡන්දය පාවිච්චි කර තිබුණේ 94,398 දෙනෙකු පමණි. ඉන් ඡන්ද 71,321ක් හිමිකර ගෙන තිබුණේ රනිල් වික්‍රමසිංහ විසිනි.
නැගෙනහිර පළාතේ මැතිවරණ දිස්ත්‍රික්ක තුනෙන් ම සැලකිය යුතු ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීම ට රනිල් වික්‍රමසිංහ සමත් විය. විශේෂයෙන්ම මුස්ලිම් ජනතාව බහුතරයක් වෙසෙන මඩකළපුව දිස්ත්‍රික්කයේ මහින්ද රාජපක්ෂ ඡන්ද 28,836ක් ලබා ගත් අතර රනිල් වික්‍රමසිංහ ඡන්ද 121,514ක් ලබාගෙන තිබුණි.
ත්‍රිකුණාමලය, මඩකළපුව සහ දිගාමඩුල්ල යන මැතිවරණ දිස්ත්‍රික්ක තුනෙහි ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 953,936ක් විය. නමුත් ඡන්දය පාවිච්චි කර තිබුණේ 595,251 දෙනෙකු පමණි.
2010 ජනාධිපතිවරණය
රට තුළ වසර 30ක් පුරා පැවති සිවිල් යුද්ධය නිම වීමෙන් පසුව පැවති ප්‍රථම ප්‍රධාන මැතිවරණය වූයේ 2010 ජනවාරි 25 වෙනිදා පැවති ජනාධිපතිවරණයි. එවක ජනාධිපති ධුරය දැරූ මහින්ද රාජපක්ෂ සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ලෙස ඉදිරියෙන් සිටියහ.
අපේක්ෂකයෝ 22 ක් ජනාධිපතිධුරය සඳහා තරග වැදුනහ.
මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් බුලත් කොළය ලකුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර ජනරාල් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් විණි.
උතුරු පළාතේ යාපනය සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙන් වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමි කර ගැනීමට සරත් ෆොන්සේකා සමත් විය. මුළු උතුරු පළාතේ ම ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 988,334ක් වුවද ඡන්දය පාවිච්චි කර තිබුණේ 298,898 දෙනෙකු පමණි. එයින් ඡන්ද 186,410ක් හිමි කර ගැනීමට ෆොන්සේකා සමත් විය.
නමුත් සමස්ත ප්‍රතිඵලය විශ්ලේෂණය කළ විට පෙනී යන්නේ උතුරු පළාතේ ඡන්ද දායකයින් ලක්ෂ හතකට අසන්න සංඛ්‍යාවක් ඡන්දය පාවිච්චි කර නොමැති බවය.
2010 ජනාධිපතිවරණයේදී "පොදු අපේක්ෂකයා" අභිබවා නැගෙනහිර ඡන්ද ලබා ගැනීමට මහින්ද රාජපක්ෂ අසමත් විය.
නැගෙනහිර පළාතේ මැතිවරණ දිස්ත්‍රික්ක තුනෙන් ම ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 690,265 වූ අතර ඉන් ඡන්ද 386,823 ලබා ගත් සරත් ෆොන්සේකා එම පළාත ජයග්‍රහණය කළේය. මහින්ද රාජපක්ෂ වෙත ඡන්ද 272,327 ක් ලැබී තිබිණි.
නමුත් රටේ අනෙකුත් දිස්ත්‍රික්ක අතුරින් හිටපු හමුදාපතිට ජයගත හැකි වූයේ නුවරඑළිය දිස්ත්‍රික්කය පමණි.
ඡන්ද 6,015,934 ලබා ගනිමින් මහින්ද රාජපක්ෂ දෙවැනි වරටත් 2010 ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව ජයග්‍රහණය කළේය. ඔහුගේ ප්‍රතිවාදියා වූ සරත් ෆොන්සේකාට හිමිවූයේ ඡන්ද 4,173,185 කි.
2015 ජනාධිපතිවරණය
ශ්‍රී ලංකාවේ බලයේ සිටි විධායක ජනාධිපතිවරයෙකු සිය ධුරය සඳහා තෙවැනි වරට තරග කළ ප්‍රථම අවස්ථාව ලෙස 2015 ජනවාරි 8 වෙනිදා පැවති ජනාධිපතිවරණය ඉතිහාස ගත වේ.
තම දෙවැනි ධුර කාලය නිම වීමට තවත් වසර දෙකකට ආසන්න කාලයක් තිබියදී එවක ජනපති මහින්ද රාජපක්ෂ විසින් මෙම ජනාධිපතිවරණය කැඳවන ලදී.
ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ එවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේනය. ඔහු එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් විණි.
එම ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර පළාත්වල වැඩි ඡන්ද සංඛ්‍යාවක් හිමි කර ගැනීමට මෛත්‍රීපාල සිරිසේන සමත් විය.
උතුරු පළාතේ ඡන්ද දායකයින් 782,297ක් ලියාපදිංචි වී සිටි අතර ඉන් 2015 ජනාධිපතිවරණයට ඡන්දය පාවිච්චි කර තිබුණේ 531,014 දෙනෙකු පමණි. ඉන් ලක්ෂ හතරකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් හිමි කර ගැනීමට හංසයා ලකුණින් තරග කළ මෛත්‍රීපාල සිරිසේන සමත් වී තිබුණි.
මුස්ලිම් දේශපාලන පක්ෂවල සහය ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබූ බැවින් මෛත්‍රීපාල සිරිසේන නැගෙනහිර පළාතේ මැතිවරණ දිස්ත්‍රික්ක තුනෙන්ම පහසු ජයක් ලබාගැනීම විශේෂත්වයකි.
ප්‍රකාශිත මුළු ඡන්ද 816,769 කින් 583,120 ක් හිමි වූයේ මෛත්‍රීපාල සිරිසේනටය. මහින්ද රාජපක්ෂ ලබා ගත්තේ ඡන්ද 214,769 කි.
දිවයිනේ සමස්ත ප්‍රතිඵලය අනුව ප්‍රකාශිත ඡන්ද අතුරින් ඡන්ද 6,217,162 හෙවත් 51,28% ක ප්‍රතිශතයක් හිමි කර ගනිමින් මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකාවේ හයවැනි විධායක ජනාධිපතිවරයා ලෙස ජනාධිපතිවරණය ජය ලැබීය.
මේ තොරතුරුත් කියවන්න:








