පරිණාමවාදයේ කරුණුවලට අභියෝග කරන ආදි කාලීන මානව හිස් කබලක් හමුවෙයි

CLEVELAND MUSEUM OF NATURAL HISTORY

ඡායාරූප මූලාශ්‍රය, CLEVELAND MUSEUM OF NATURAL HISTORY

වසර මිලියන 3.8ක් ඉපැරණි වානර ලක්ෂණ සහිත ආදි කාලීන මානව හිස් කබලක් ඉතියෝපියාවෙන් සොයා ගැනීමට පර්යේෂකයින් පිරිසක් සමත් වී තිබේ.

මෙම හිස් කබල විශ්ලේෂණය කිරීමේදී අනාවරණය වී ඇත්තේ, වානර ලක්ෂණ සහිත මුතුන් මිත්තන්ගෙන් පළමු මානවයා පරිණාමය වීම පිළිබදව දැනට පවතින මතවලට අභියෝගයක් එල්ල වන බවය.

පළමු ආදි මානවයා ලුසී නමැති වානර විශේෂයකින් පරිණාමය වූ බවට දැනට පවතින මතය ඒ අනුව නැවත සලකා බැලීමට සිදුවනු ඇතැයි අදහස් පළවේ.

මෙම නවතම අනාවරණය පිළිබදව Nature විද්‍යා සඟරාවේ පළ කර තිබේ.

මහාචාර්ය යොහාන්ස් හයිල්-සෙලසී

ඡායාරූප මූලාශ්‍රය, Cleveland Museum of Natural History

ඡායාරූප ශීර්ෂ වැකිය, මහාචාර්ය යොහාන්ස් හයිලේ සෙලාසී හිස් කබල සමග

අදාළ හිස් කබල මහාචාර්ය යොහාන්ස් හයිලේ සෙලාසී විසින් ඉතියෝපියාවේ මිරෝ දෝරා නමැති ස්ථානයකින් සොයාගෙන තිබිණි.

ඇමෙරිකාවේ ඔහායෝහි පිහිටි ක්ලෙව්ලන්ඩ් ස්වාභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ විද්‍යාඥයෙකු වන ඔහු පැවසුවේ, අදාළ පොසිලයෙහි වැදගත්කම තමන් සැණෙකින් වටහා ගත් බවය.

"දෙවියනේ, මම හොයපු දේ ම මට හම්බ වුණා නේද කියල මට හිතුණා. ඒ ගැන මම ගොඩක් සතුටු වුණා. මට තේරුණා මම සිහින දැකපු දේ මට ලැබුණා කියලා," මහාචාර්ය යොහාන්ස් හයිලේ සෙලාසී බීබීසී පුවත් සේවයට පැවසීය.

මහාචාර්ය හයිලේ සෙලාසී පවසන්නේ, වානර ලක්ෂණ සහිත මානව මුතුන් මිත්තන් වූ ඔස්ට්‍රලෝපිතීකස් ඇනමෙන්සිස් මීට වසර මිලියන 4.2 කට පෙර සිටි බවට මෙම හිස් කබල හොඳ ම උදාහරණයක් බවය.

CLEVELAND MUSEUM OF NATURAL HISTORY

ඡායාරූප මූලාශ්‍රය, CLEVELAND MUSEUM OF NATURAL HISTORY

ඔස්ට්‍රලෝපිතීකස් ඇනමෙන්සිස් (Australopithecus anamensis) යනු පසුකාලීනව වඩා දියුණු විශේෂයක් වන ඔස්ට්‍රොලොපිතීකස් ඇෆරෙන්සිස් විශේෂයේ (Australopithecus afarensis) සෘජු මුතුන් මිත්තෙකු ලෙස සැලකූ අතර, එය පළමු හෝ මුල් කාලීන මානව වර්ගය ලෙස සැලකෙන හෝමෝ (Homo) ලෙස හැඳින්වෙන කුලයේ මුල් ම මුතුන් මිත්තෙකු ලෙස සැලකිණි.

1974 වසරේදී සොයා ගනු ලැබූ ඇෆරෙන්සිස් විශේෂයට අයත් ඇට සැකිල්ල විශාල අවධානයකට ලක්විය. එම ඇට සැකිල්ල ලුසී ලෙස නම් කරන ලද්දේ, එම සැකිල්ල සොයා ගත් ස්ථානයේ සිට බීට්ල්ස් සංගීත කණ්ඩායම ගායනා කළ 'Lucy in the Sky With Diamonds' නමැති ගීතය හේතුවෙනි.

"ඇවිදින ලද පළමු වානරයා" ලෙස සැලකුණු ලුසී පිළිබදව දැඩි අවධානයක් එවක යොමු විය. එහෙත්, Nature සඟරාවට අදහස් පළ කරමින් ලන්ඩන්හි ස්වාභාවික ඉතිහාසය පිළිබද කෞතුකාගාරයේ මහාචාර්ය ෆ්‍රෙඩ් ස්පූර් පැවසුවේ, ඉතියෝපියාවෙන් හමුවී ඇති ඇනමෙන්සිස් විශේෂයට අයත් හිස් කබල "මානව පරිණාමයේ තවත් සුවිශේෂී සංකේතයක්" වනු ඇති බවය.

1974 වසරේදී සොයා ගනු ලැබූ ඇෆරෙන්සිස් විශේෂයට අයත් ඇට සැකිල්ල විශාල අවධානයකට ලක්විය

ඡායාරූප මූලාශ්‍රය, P.PLAILLY/E.DAYNES/SPL

ඡායාරූප ශීර්ෂ වැකිය, 1974 වසරේදී සොයා ගනු ලැබූ ඇෆරෙන්සිස් විශේෂයට අයත් ඇට සැකිල්ල විශාල අවධානයකට ලක්විය

මෙම තත්ත්වයට හේතුව වන්නේ, ඇනමෙන්සිස් සහ ඇෆරෙන්සිස් එක ම කාලයක වාසය කර තිබීම විය හැකිය. මීට පෙර ඉදිරිපත් කළ මත පරිදි පිළිවෙළින් රේඛීය ආකාරයකින් පරිණාමය වීමක් සිදු වී නොමැත.

මෙම නව පොසිලය සොයාගැනීම මගින් මීට පෙර සොයාගෙන තිබූ හිස් කබල සම්බන්ධයෙන් නව අර්ථ නිරූපණයක් ලබා දෙනු ඇත. එම පොසිලය ඇනමෙන්සිස් විශේෂයට ඇතුළත් කර තිබිණි. එහෙත්, එය ඇෆරෙන්සිස් විශේෂයට අයත් වූවක් බවත්, එම විශේෂයේ ආරම්භය තවත් ඈතට දිවයන බවත් දැන් විද්‍යාඥයින්ට පෙනී යනු ඇත.

මේ අනුව පෙනී යන්නේ, මෙම විශේෂ දෙක ම වසර 100,000ක පමණ කාලයක් සමකාලීනව වාසය කළ බවය.

බොහෝ දුරට සිදුවී ඇතැයි අනුමාන කළ හැක්කේ, ඇනමෙන්සිස් විශේෂයට අයත් කුඩා කණ්ඩායමක් ප්‍රධාන ජනගහනයෙන් හුදෙකලා වී කාලයාගේ ඇවෑමෙන් ඔවුන් වාසය කළ ප්‍රදේශයේ තත්ත්වයන්ට අනුවර්තනය වීම නිසා ඇෆරෙන්සිස් බවට පරිණාමය වූ බවය. සෙසු ඇනමෙන්සිස් මානවයින් විනාශ වීමට පෙර ඔවුන් එකිනෙකා සමග ගැටෙමින් වාසය කරන්නට ඇත.

මෙම අනාවරණය වැදගත් වන්නේ, අදාළ කාල වකවානුව තුළ වානර ලක්ෂණ සහිත මානව විශේෂ ගණනාවක් පැවති බවට එමගින් කරුණු ඉදිරිපත් වන හෙයිනි. ඒ අනුව, පළමු මානවයා සම්බන්ධයෙන් ගොඩනැගෙන පරිණාමීය මං සලකුණු තවත් වැඩි වී තිබේ.

නූතන මානවයා බිහිවීම සම්බන්ධයෙන් පැහැදිලි රේඛීය තත්ත්වයක් නොමැති බව පෙන්නුම් කරන නවතම අනාවරණය ඇනමෙන්සිස් විශේෂයයි.

ඒ අනුව, නූතන මානව පරිණාමය පිළිබද ඇත්ත තවදුරටත් සංකීර්ණ මෙන් ම ආකර්ෂණීය වී තිබේ. එමගින් කියැවෙන්නේ, පරිණාමය පිළිබද කතාන්දය තුළ විවිධාකාරයේ ආදි මානවයින් විවිධ දේශගුණික, වාසස්ථාන සහ ආහාර සාධක මත වාසය කළ බවය.

(බීබීසී විද්‍යා වාර්තාකරු පල්ලාබ් ඝෝෂ් සැකසූ වාර්තාවක් ඇසුරිනි.)

තවදුරටත් කියවන්න: