සයිටම්: "ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ජනාධිපති පවා හිස නැමුවා"

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා

ඡායාරූප මූලාශ්‍රය, GROUNDVIEWS

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා

"රටේ වෛද්‍ය අධ්‍යාපනය හෑල්ලුවට ලක් වේ නම් ජනතාව වෙනුවෙන් ඕනෑ ම දුෂ්කර තීරණයකට යාමට සූදානම්" බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසද්දී, වෛද්‍ය සභාවේ සභාපතිවරයා කියා සිටියේ "ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ජනාධිපතිවරයා වුණත්" හිස නැමූ බවය.

ඔවුන් මෙම ප්‍රතිචාර දක්වා සිටියේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරීන් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා මෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීමෙන් අනතුරුවය.

"සුප්‍රීම් උසාවියෙන් නියෝගයක් දුන්නොත් අපි කවුරුත් ඒ නියෝගයට යටත් වෙන්න ඕන. එච්චරයි. ඒක බැහැ කියන්න බැහැ. ඒ මගේ මතය. මම ඉන්නේ ඒ ස්ථාවරයේ. සභාවේ මතය මොකක්ද කියල මට කියන්න බැහැ, සභාව රැස් වුනාට පස්සේ තමයි ඒක දැනගන්න පුළුවන්."

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා තම මතය ප්‍රකාශ කරමින් එසේ කියා සිටියේ බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ය.

"සුප්‍රීම් උසාවියේ තීරණයට අපි කවුරුත් හිස නමන්න ඕන. මම විතරක් නෙවෙයි ජනාධිපතිවරයාත් හිස නැමුවනේ." මහාචාර්යවරයා තවදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත්, බ්‍රහස්පතින්දා (අගෝස්තු 01) ශ්‍රී ලංකා වෛද්‍ය සභාව රැස් වීමට නියමිත බවත් එහිදී මේ පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති බවත් සභාපතිවරයා පැවසීය.

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් සොයිසා
ඡායාරූප ශීර්ෂ වැකිය, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් සොයිසා

සයිටම් සිසුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය පිළිබඳව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් සොයිසා කියා සිටියේ මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් අනතුරුව මේ පිළිබඳව තීරණයක් ගන්නා බවය.

අධිකරණ තීන්දුවට ගරු කරන නමුත් සයිටම් වෛද්‍ය විද්‍යාලය නිසි ප්‍රමිතියකින් තොරව පවත්වාගෙන ගිය එකක් බවට තමන් දරන මතයේ කිසිදු වෙනසක් නොවන බව ඔහු අවධාරණය කරයි.

"වෛද්‍ය සභාවේත් අප සංගමයේත් ජනතාවගේත් බලාපොරොත්තුව තමයි රටට ප්‍රමිතියකින් යුතු වෛද්‍යවරුන් බිහිවීම. ඒ සඳහා කළ හැකි උපරිම මැදිහත්වීම කරන්නට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සුදානමින් ඉන්නවා." වෛද්‍ය නවීන් සොයිසා පැවසීය.

තම සංගමය වැඩ කටයුතු කරන්නේ අදිසි දේශපාලන හස්තයක මෙහෙයවීම යටතේදැයි විමසු විට ඔහු කියා සිටියේ කිසිදු දේශපාලන අරමුණක් තම සංගමයට නොමැති බවය.

නැවතත් වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් දියත් කිරීමට සුදානම් වන්නේදැයි ජනතාවට සැකයක් ඇතිවිය හැකි බව පෙන්වා දුන් විට ඔහු කියා සිටියේ "රටේ වෛද්‍ය අධ්‍යාපනය හෑල්ලුවට ලක්වන ඕනෑම අවස්ථාවක ජනතාව වෙනුවෙන් ඕනෑම දුෂ්කර තීරණයකට යාමට" තම සංගමය සුදානම් බවය.

"ඇත්තටම මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් පසුව තමයි මේක තීරණය කරන්න පුළුවන්."

"මේ වන තුරු මෙම නඩු තීන්දුව හෝ නඩු වාර්තාව අපට ලැබිල නැහැ."

එම වාර්තාව ලද විගස තම නීතිඥයන්ගෙන් උපදෙස් ලබා ගැනීම සඳහා කටයුතු කරන බවත් ඉන් අනතුරුව තම තීරණය වෛද්‍ය සභාව වෙත ඉදිරිපත් කොට ඔවුන් දැනුවත් කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්වරයා පැවසීය.

නමුත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා කියා සිටියේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ තමන් අතර කිසිදු සම්බන්ධතාවක් නොමැති බවය.

සයිටම් ආයතනය

ඡායාරූප මූලාශ්‍රය, DAILYNEWS.LK

ඡායාරූප ශීර්ෂ වැකිය, මාලඹේ සයිටම් ආයතනය

සයිටම් ගැටලුව විසඳීම සම්බන්ධයෙන් පත්කරන ලද නව පුද්ගල කමිටුවේ නිර්දේශය වූයේ සයිටම් අර්බුදය විසඳීම සඳහා නව ආයතන දෙකක් පිහිටුවීම බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය වසරේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් විය.

එම නව ආයතන දෙක සහ ඒවාට පැවරෙන කාර්යයන් ද එහි විස්තර කර තිබිණි.

එයින් කියවුනේ එකිනෙකින් වෙන් වූ අභිනව ආයතන දෙක වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප්‍රමිතීන්ට අනුකූල විය යුතු බවය.

යෝජිත නිර්දේශ අනුව මෙයින් එකක් වන්නේ සයිටම් ආයතනයේ සිටි සියලුම වෛද්‍ය සිසුන් බඳවා ගනිමින් සහ වගකීම් පවරා ගනිමින් සයිටම් අහෝසි කිරීම සඳහා ස්ථාපිත කරනු ලබන ලාභ නොලබන තාවකාලික ආයතනයකි.

සයිටම් ආයතනයේ වර්තමාන අවසන් වෛද්‍ය සිසුන් කණ්ඩායම උපාධි ලබාගත් පසුව ඊට අලුතින් සිසුන් බඳවා නොගන්නා බව ද එහි දැක්විණි.

දෙවැන්න, 2019 වසරේ පටන් සිසුන් බඳවා ගැනීම සඳහා පිහිටුවනු ලබන ලාභ නොලබන නව ආයතනයකි.

2019 වසරේ පටන් වෛද්‍ය සිසුන් බඳවා ගැනීම සඳහා පිහිටුවනු ලබන එම දෙවෙනි ආයතනය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලද යුතු අතර ඒ සඳහා එම ආයතනය අවශ්‍ය අවම ප්‍රමිතීන් සපුරා ලිය යුතු බව ද අදාළ නිවේදනයේ සඳහන් විය.

තවත් කියවන්න: