යාපනයේ පොලිස් වෙඩි තැබීම : මරණයට පත් තැනැත්තා 'ආවා' කල්ලියේද?

Ava group in Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විදේශ රටවල ජිවත්වන තරුණ කණ්ඩායම්වල මුල්‍ය අනුග්‍රහය යටතේ ආවා කල්ලිය යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බව ආරක්ෂක අංශ පැවසූහ

යාපනය, මානිප්පායි, ඉනුවිල් ප්‍රදේශයේ දී පොලිස් වෙඩි පහරින් සෙනසුරාදා (ජූලි 20) රාත්‍රියේ දී ජීවිතක්ෂයට පත් තැනැත්තා 'ආවා' කල්ලි සාමාජිකයකු යයි සැක කෙරන බව ආරක්ෂක අංශ පවසයි.

'ඉනුවිල්' ප්‍රදේශයේ මාර්ග බාධකයක අණ නොතකා පොලිස් නිලධාරීන්ට පහර දී පළා ගිය පිරිසකට පොලිසිය වෙඩි තබා ඇති බවත් , කච්චායි ප්‍රදේශයේ පදිංචි සෙල්වරත්තිරම් කවිගජන් නමැති 22 හැවිරිදි තරුණයකු එමගින් ජීවිතක්ෂයට පත් වී ඇති බවත් ආරක්ෂක අංශ ආරංචි මාර්ගවලින් පැවසෙයි.

යතුරු පැදිවලින් පැමිණි මෙම පිරිස පොලිස් නිලධාරීන්ට පහර දීමෙන් පසු අත්අඩංගුවට ගැනීමට යාමේදී එම වෙඩිතැබීම සිදුකළ අතර, තුවාලකරු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මරණයට පත්ව ඇති බව මානිප්පායි පොලිසිය පවසයි.

මියගිය තරුණයාගේ සිරුර යාපනය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබුණ අතර, එම සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ ඉරිදා (21) පැවැත්වීමට නියමිතවැ තිබුණි.

පළාගිය සැකකරුවන් පැමිණි යතුරුපැදියක්, සැකකරුවන් සතුව තිබූ කඩු තුනක් සහ තවත් කැපුම් ආයුධ කීපයක් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

2016 පොලිස් වෙඩි තැබීම

2016 ඔක්තෝබර් 20 වෙනිදා චුන්නාකම් ප්‍රදේශයේදී යාපනය විශ්ව විද්‍යාලයේ දෙවැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුන් දෙදෙනෙකු පොලිස් වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්විණි.

එලෙස ජිවිතක්ෂයට පත් වුණේ යාපනය පදිංචි විජයකුමාර් සුලක්ෂන් සහ කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි නඩරාජා ගජන් නමැති සිසුන් දෙදෙනෙකි.

එම මරණ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පස් දෙනෙකුට චෝදනා එල්ල විය.

Ava group in Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, යාපනය විශ්ව විද්‍යාලය

එම සිසුන් දෙදෙනාගේ මරණයෙන් පසු යාපනය විශ්ව විද්‍යාල සිසුන් විශාල විරෝධතාවක නියැලුණු අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණය ඉටු කරන ලෙසට ඉල්ලා සිටියහ.

මේ තොරතුරුද කියවන්න:

"මැර කල්ලි"

යාපනය චුන්නාකම් ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින්, පසුගිය සම‍යේ ආවා කල්ලියේ මැර ප්‍රහාර ක්‍රියාත්මක වුණ අතර, ඔවුහු දේපළ හානි විශාල ප්‍රමාණයක් ද සිදුකොට ඇති බව ආරක්ෂක අංශ පැවසූහ.

විනෝදන් නොහොත් 'ආවා විනෝදන්' නමැත්තා යාපනය චුන්නාකම් ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් 2014 වර්ෂයේ සිට නීති විරෝධී ක්‍රියාවල නිරත වන වාර්තා වී තිබේ.

එමෙන්ම, වර්තමානයේ දී විදේශ රටවල ජිවත්වන තරුණ කණ්ඩායම්වල මුල්‍ය අනුග්‍රහය යටතේ ආවා කල්ලිය යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බව ආරක්ෂක අංශ කියා සිටිති.

ආවා කල්ලිය ආරම්භයේ දී එක කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වූ නමුත්, කල්ලියේ සාමාජිකයින් අතර හටගත් ආරවුල් හේතුවෙන් දැනට කණ්ඩායම් කීපයකට බෙදී ඇත.

කණ්ඩායමෙන් වෙන්ව ගිය සාමාජිකයින් සහ ආවා කල්ලියේ ක්‍රියාකාරකම් අනුගමනය කරමින් මේ වන විට යාපනය ප්‍රදේශයේ විවිධ කල්ලි කීපයක් බිහිව ඇති බවට කරුණු අනාවරණය කර ගෙන ඇති බව ආරක්ෂක අංශ කියා සිටිති.

Ava group in Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය, සෙල්වරත්තිරම් කවිගජන්

ආවා, ධනුරොක්, අජිත්, වික්ටර් යනුවෙන් හඳුන්වන කල්ලි කීපයකට අයත් යැයි පැවසෙන සාමාජිකයින් දැනට යාපනය ප්‍රදේශය තුළ පහරදීම් ආදියෙහි නිරත වෙන බව ආරක්ෂක පවසති.

මාර්ග බාධකයේ දී පළාගිය ආවා කල්ලි සාමාජිකයන් සොයා පොලිසිය සහ යුද හමුදා සාමාජිකයින් ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මානිප්පායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

තවත් තොරතුරු: