හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර අත්අඩංගුවට - පොලිසිය

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පුජිත් ජයසුන්දර

රෝහල් ගතව සිටින ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තහවුරු කළේය.

පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අඟහරුවාදා [ජූලි 02] පෙනී සිටින ලෙස දන්වනු ලැබ තිබුණි.

අත්අඩංගුවට ගැනීම සිදු වූයේ සිය අසනීප තත්ත්ව හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය නොහැකි බව ඔවුන් දෙදෙනා විසින් දන්වනු ලැබීමෙන් අනතුරුවය.

මේ වන විට ඔවුන් දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ලබති.

ප්‍රහාරය සම්බන්ධ අනතුරු ඇඟවීම් පිළිබඳ පෙර තියා දැන සිටි බව ඔවුන් දෙදෙනාම පිළිගන්නා නමුත් එහි වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කරන බව ඔවුන් පෙර කළ ප්‍රකාශ මගින් පෙනෙන්නට තිබේ.

2018 වසරේ ඔක්තෝබර් මස 23 වන දා පැවති ආරක්ෂක කවුන්සිල රැස්වීමෙන් අනතුරුව පැවති රැස්වීම් සඳහා තමන් සහභාගි විය යුතු නැතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දැන්වූයේ යැයි ආරක්ෂක අමාත්‍යංශයේ එවක ලේකම් කපිල වෛද්‍යරත්න තමන්ට දැනුම් දුන් බව පොලිස්පති පූජිත් ජයසුන්දර පාස්කු ප්‍රහාර පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ සාක්ෂි දෙමින් සඳහන් කර තිබිණි.

මරාගෙන මැරෙන ප්‍රහාරයක් සම්බන්ධ පූර්ව අනතුරු ඇඟවීම් පිළිබඳ ජනාධිපතිවරයාට දැනුම් දීමට ක්‍රියා නොකළේ ජනාධිපතිවරයා සියලු බුද්ධි තොරතුරු සෘජුව ම ලබා ගන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනගෙන් යයි තමන් දැනුවත් වී සිටි හෙයින් බව එම කාරක සභාව හමුවේ ප්‍රකාශ ලබා දෙමින් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු පැවසීය.

නීතිපති දෙපාර්තමේන්තුව

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

නීතිපතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී, රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඉහත කී පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් 27 වෙනිදා දෙන ලද උපදෙස් ක්‍රියාත්මක කිරීමට වැඩබලන පොලිස්පතිවරයා මේ දක්වා අපොහොසත් වීම බරපතල කරුණක් ලෙස සලකන බව සඳහන් කරමින් නීතිපතිවරයා සඳුදා (ජුලි 01) යළිත් වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් යවා තිබූ බවය.

නීතිපතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරී, රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න
ඡායාරූප ශීර්ෂ වැකිය, නීතිපතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී, රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න

ඊට ලිඛිත ප්‍රතිචාරයක් එදින තුළම දැනුම් දෙන්නැයි දන්වා තිබුණද අඟහරුවාදා පෙරවරු 11.30 වනතෙක් පිළිතුරු ලැබී නොතිබුණ බව රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

නීතිපති දප්පුල ද ලිවේරා, වැඩබලන පොලිස්පතිවරයා වෙත යැවූ දෙවන ලිපියේ දැක්වෙන්නේ සැකකරුවන්ගේ "ප්‍රබල නොකර හැරීම" හේතු කොට ගෙන පාස්කු දින සිදුවූ අපරාධ මනුෂ්‍යත්වයට එරෙහිව [Grave Crimes against humanity] වූ බරපතල අපරාධ වශයෙන් ජාත්‍යන්තර අපරාධ නීතියට අනුව සැලකෙන බවය.

පුජිත් සහ හේමසිරි අධිකරණයට ඉදිරිපත් කරන්නැයි උපදෙස්

හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර සැකකරුවන් වශයෙන් නම් කර අපරාධ නඩු විධාන සංග්‍රහයේ අදාල ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු කර ඔවුන්ගේ ප්‍රකාශ වාර්තා කර අදාළ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් සැකකරුවන් වශයෙන් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට 2019.06.27 දින නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් දී තිබුණි.