ලිංගික සේවය: "මාව ගණිකාවක් කළේ පිරිමි"

ඡායාරූප මූලාශ්‍රය, AFP
- Author, අරවින්ද තිසර රතුවිතාන
- Role, බීබීසී සිංහල
"මගේ ස්වාමියා වෙන ගෑනියෙක් එක්ක ගියා. ළමයි දෙන්න බලා ගන්න කවුරුත් නැහැ. පිරිමි නිසා ම තමයි මම මේ තත්ත්වයට වැටුණේ."
ඇය දෙදරු මවකි. ගණිකා වෘත්තීය ඇයගේ ජීවිකාව බවට පත් විය.
"අපිට අසාධාරණය සිද්ධ වෙන්නේ සමාජයෙන් ම තමයි. සමාජය ම තමයි අපිව පොලිසියට යොමු කරන්නේ. මම දරුවොත් එක්ක බස් හෝල්ට් එකක හිටියත් සමහරු පොලිසියට දැනුම් දෙනවා. මම ඒ වෙලාවේ ගණිකා වෘත්තීය කරන්නේ නැහැනේ." ඇය බීබීසී සිංහල සේවය සමග පැවසුවාය.
පොලිස් භාරයට පත් වූ විට තමන්ට මුහුණ දෙන්නට සිදුවන වාතාවරණය පිළිබඳව අදහස් දක්වමින් ඇය කියා සිටියේ නැවත සමාජයට මුහුණ දීමට නොහැකි තත්වයක් උදා කෙරෙන බවය.
"පොලිසියේදී අපිට තියෙන්නේ අන්තිම පහත් ම සැලකීමක්. අන්තිම කැත විදියට තමයි අපිට සලකන්නේ. උසාවියට ගියාම එතැනදී ඒ ගොල්ලෝ කෑ ගහල කියනවා නඩුකාරයට මෙයා 'ගණිකා නිවාසයක් පවත්වාගෙන යනවා' කියල. එතන පන්සීයක් සෙනග හිටියොත් ඒ ඔක්කොම මගේ දිහා බලනවා. ඊට පස්සේ පාරේ ගිහිල්ල ඉවරයි."
'අපි දෙයියොද?'
ඇය දෙස වපර ඇසින් බලන සමාජය දෙස ඇය බලන්නේ මේ අයුරිනි.
"පන්සලකට යන්නෙත් බයෙන්. කෝවිලකට ගියත් අන්න අර ගෑනි කෝවිලට ඇවිල්ල කියනවා. දෙයියෝ ගාව නෙවෙයි ඇස් තියෙන්නේ. අපි දෙයියොද? අපි දිහා ඇස් දෙක තියෙන්නේ. එහෙම බලන්න එපා. අපිත් මිනිස්සු. මිනිස්සුම තමයි අපිව අරන් යන්නෙත්." ඇය ප්‍රකාශ කළාය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉහළ පෙළේ වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් මෙන්ම දේශපාලනඥයන්
කෙසේ නමුත්, ලිංගික සේවය සපයන සෑම කාන්තාවක් ම එම තත්ත්වයට මුහුණ නොදෙනු ඇත. සමාජයේ ඉහළ ස්තරයට සේවය සපයන තරුණියක ද අප හා අදහස් දැක්වීමට එකඟ විය.
තමන්ගේ සැබෑ නම මාධ්‍ය ඔස්සේ හෙළි නොකරන ලෙස ඉල්ලීමක් කළ ඇය කියා සිටියේ ඇතැම් ගනුදෙනුකරුවන් ඉදිරියේ තමන් පෙනී සිටින්නේ අන්වර්ථ නාමයකින් බවය.
වෘත්තියෙන් ඇය පෞද්ගලික සමාගමක විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත වන්නීය.
"මට ඉන්න ක්ලයන්ට්ස්ල යන්නේ ෆයිව් ස්ටාර් තැන්වලට. ඒ වගේ තැන්වලට පොලිසිය එන්නේ නැහැ. ඒ නිසා එහෙම ප්‍රශ්න මට නම් නැහැ."
ඉහළ පෙළේ වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් මෙන්ම දේශපාලනඥයන් පවා තම සේවය ලබා ගන්නා බව ඇය හෙළිදරව් කළාය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"බ්‍රොතල් හවුස්දෙකක් රන් කරන ආන්ටි කෙනෙක්"
වැඩි මුදලක් උපයා ගැනීම සඳහා ඇය ඉඳ හිට වෙනත් රටකට යන බව ද ඇය පවසන්නීය.
"මට උදව් කරන කෙනෙක් ඉන්නවා. එයත් එක්ක තමයි මම මුලින් ම ලන්ඩන් ගියේ. පස්සේ මම තනියෙන් යනවා. එහෙ අපිට ආරක්ෂාව වැඩියි. කවුරුවත් හොයන්නේ නැහැනේ අනුන් ගැන."
ඇයගේ ජීවන රටාව නොවෙනස් ව පවත්වාගෙන යාම සඳහා වැඩි මුදලක් උපයා ගැනීම අත්‍යවශ්‍ය වන බව ඇයගේ අදහසයි.
"මාස හයකට වීසා දෙනවනේ. එහෙ 'බ්‍රොතල් හවුස්' දෙකක් රන් කරන ආන්ටි කෙනෙක් මම දන්නවා. මාස දෙක තුනක් වැඩ කළත් හොඳ ගානක් හම්බ කරගෙන එන්න පුළුවන්."
මගේ දරුවා ඉගෙන ගන්නේ ඉන්ටනැෂනල් ස්කූල් එකක. ඒ වියදම් දරන්න බැහැ මට මෙහෙ සාමාන්‍ය රැකියාවක් කරල." ඇය පැවසුවාය.
තම විවාහ දිවිය හෝ ස්වාමි පුරුෂයා පිළිබඳව කිසිවක් ප්‍රකාශ කිරීම ඇය ප්‍රතික්‍ෂේප කළාය.
ශ්‍රී ලංකාව තුළ නීතිගත නොවන නමුත් සේවා සැපයෙන සමාජ ස්තරය අනුව ලිංගික ශ්‍රමිකයන් මුහුණ දෙන අත්දැකීම් හාත්පසින් ම වෙනස් බව ඉහත කාන්තාවන් දෙදෙනාගේ ප්‍රකාශ මගින් පැහැදිලි වෙයි.
මේ පිළිබඳව විමසීමේදී වැල්ලම්පිටියේ වෙසෙන කාන්තාවක කියා සිටියේ ගණිකා වෘත්තීය නීතිගත කිරීම මගින් ඊට විසඳුම් ලැබෙන බවකි.
"මාධ්‍යකාරයෝ"
"මගේ ඉල්ලීම මේකයි. ගණිකා වෘත්තීය කවදාවත් කිසිම රටක නවත්වන්න බැහැ. ඒ නිසා තමයි සමහර රටවල් ඒක නීතිගත කරල තියෙන්නේ. ලංකාවෙත් මේක නීතිගත කරන්න එතකොට අපිට මේ අසාධාරණය සිද්ධවෙන්නේ නැහැ. අපරාධත් අඩුවෙනවා."
ඇය තවදුරටත් කියා සිටියේ "කාන්තාව විතරයි මේකට වන්දි ගෙවන්නේ. මාව ගණිකාවක් කළේ පිරිමි. පිරිමි තමයි ඇවිත් අපිව ගන්නේ. මාධ්‍ය කාරයෝ ගණිකා නිවාස වැටලුවා කියල මහා කැත විදියට ඒකට ප්‍රචාරය දෙනවා. පාරේ බැහැල යන්න බැරිවෙන විදියට ඒක ගහල දානවා," යනුවෙනි.
කොළඹ පදිංචි තවත් කාන්තාවක් කියා සිටියේ තමන් පළමු වරට පොලිසියට කොටු වීමෙන් පසුව දීර්ඝ කාලීන ප්‍රශ්නවලට මුහුණ දුන් බවය.
"පොලිසියෙන් තමයි වැඩිම අසාධාරණය සිද්ධ වෙන්නේ. පොලිසියේ අයට හිතුණු ගමන් ඇවිල්ලා අපිව බලෙන් අරන් යනවා."
"කසාද බැන්දට පස්සේ මම මේ රස්සාව නැවැත්තුවා. එහෙම ඉන්නකොටත් මාව පොලිසියෙන් අරන් ගියා. මම පිටකොටුවට ගියේ එතන වෙළඳාමක් කරන මගේ මනුස්සය හම්බ වෙන්න." නම හෙළි කිරීමට අකමැති වූ ඇය පැවසුවාය.
පොලිසියට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්‍ෂේප කරමින් පොලිස් ප්‍රකාශක රුවන් ගුණසේකර බීබීසී සිංහල සේවයට පවසා තිබුණේ පැමිණිල්ලක් ලැබුනොත් එම නිලධාරියාට එරෙහිව කටයුතු කරනු ඇති බවය.
මේ තොරතුරුද කියවන්න:

ඡායාරූප මූලාශ්‍රය, MADHAWI HERATH
ශ්‍රී ලංකාව තුළ ගණිකා වෘත්තීය ප්‍රධාන වශයෙන් ආකාර තුනකින් ක්‍රියාත්මක වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනි මාධවී හේරත් පවසන්නීය.
"එකක් තමයි සමහර සම්බාහන මධ්‍යස්ථාන හරහා ගණිකා වෘත්තිය කරගෙන යාම. තැරව්කරුවන් හෝ තැරැව්කාරියන් ගේ උදව්වෙන් කරගෙන යාම තවත් ක්‍රමයක්. තුන් වැනි ක්‍රමය තමයි ස්වාධීනව, රහසිගතව එම වෘත්තියේ යෙදීම."
"ශරීරය අළෙවි කරනවා"
"මේ අතර ඉන්නවා සමාජයේ නමක් හදාගත්, පිළිගැනීමක් ඇති ස්ත්‍රීන් කොටසක්. ඔවුන්ටත් තැරැව්කරුවන් ඉන්නවා. ස්වාධීනව කරගෙන යන අයත් ඉන්නවා." ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනි මාධවී හේරත් ප්‍රකාශ කළාය.
එකම වෘත්තීය කරගෙන යන නමුත් "ගණිකාව ලෙස ලේබල් කරන්නේ" සමාජයේ පහළ ස්තරයේ ස්ත්‍රිය පමණක් බව ඇයගේ මතයයි.
"ගණිකාව" යන වචනයට නිශ්චිත අර්ථ නිරූපනයක් ශ්‍රී ලංකාවේ නීතිය තුළ නොමැති බව නීතිවේදිනි නදීජා ඩයස් පවසන්නීය.
"බ්ලැක් ශබ්දකෝෂයේ දැක්වෙන ආකාරයට කිසියම් මිලක් සඳහා තෝරා ගැනීමකින් තොරව පුද්ගලයන් සමඟ ලිංගිකව හැසිරෙන කෙනා තමයි ගණිකාව කියල හැඳින්වෙන්නේ. මෙතන දී ගැහැනියක් නම් ඇය කිසියම් මිලකට තමන්ගේ ශරීරය අළෙවි කරනවා."
ඇය තවදුරටත් කියා සිටියේ "ඇතැමුන් මෙය ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන යන අතර ඇතැමුන්ට එය ජීවනෝපායක්" වන බවය.
ඉපැරණි නීතිය

ඡායාරූප මූලාශ්‍රය, NAdija Dias
"බෞද්ධ දර්ශනය අනුව නම් මෙය දුරාචාරයක්. නීතිය පැත්තෙන් ගත්තොත් මෙය විග්‍රහ කිරීම සඳහා ඈත අතීතයට යායුතු වෙනවා."
ශ්‍රී ලංකාවේ ගණිකාවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ ක්‍රි ව 1889 අංක 5 දරණ ගණිකා නිවාස ආඥා පනතින් සහ 1841 අංක 4 දරණ අයාල ආඥා පනතින් පමණක් බව නීතිවේදීනි නදීජා ඩයස් පවසන්නීය.
ගණිකාවන් සංඛ්‍යාව
"රැකියාවක් සඳහා ගණිකා වෘත්තියේ යෙදුණොත් රුපියල් 100ක දඩයක් වැනි ලිහිල් දඬුවමක් තියෙන්නේ. ගණිකා නිවාසයක් පවත්වාගෙන යෑමේ වරදට අවම දඩය රුපියල් 50,000ක්."
ගණිකා වෘත්තීය යනු කුමක්දැයි පැහැදිලි කෙරෙන නිර්වචනයක් නීතිය තුළ නොමැති හෙයින් යම් කෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ ඉහත කී ආඥා පනත් දෙක හරහා බව පමණක් බව ඇය කියා සිටියාය.
කෙසේ නමුත් ඉපැරණි නීති පනත් මත කටයුතු කිරීම තුළින් "ගණිකාවන්ගේ ප්‍රමාණය අඩුවීමක් හෝ සමාජයීය වශයෙන් කිසිදු යහපතක්" නොවන බව ඇයගේ මතයයි.
වඩා ඵලදායී ක්‍රමවේදය නම්, අදාළ ස්ත්‍රිය එම වෘත්තියට යොමු වීමට හේතු වූ කාරණාව සොයා බලා ඊට පිළියම් යෙදීම බව නීතිවේදීනි නදීජා ඩයස් වැඩිදුරටත් සඳහන් කළාය.









