මුස්ලිම් ව්‍යාපාර ගැන අස්ගිරි මහනාහිමි ප්‍රකාශය, බුදු දහම සහ සමාජ මාධ්‍ය ජාල ප්‍රතිචාර

සියම් නිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශව ශ්‍රී ලංකාවේ බෞද්ධ ශාසනික සංස්කෘතියේ ප්‍රධාන ආයතන ලෙස ගෞරවයට පාත්‍ර වී තිබේ.

එම ගෞරවය නිසා ම බෞද්ධ ජනතාවගේ දැඩි අවධානයට ද එම ආයතන ලක් වීම සාමාන්‍ය තත්ත්වයකි. එසේ ම, දේශපාලනඥයන් එම පාර්ශව දෙකෙහි නාහිමිවරුන් බැහැ දැක අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා ලබා ගන්නා ආකාරය ද මාධ්‍ය තුළින් දක්නට ලැබේ.

එවැනි පසුබිමක් පවතිද්දී ,අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් පසුගිය දා කළ ප්‍රකාශයක් පිළිබඳව මේ වන විට සමාජ සංවාදයක් නිර්මාණය වී තිබේ.

පසුගිය ජූනි 15 වන දා දොඩම්වල දියකෙළිනාවළ කිත්සිරිමෙවන් රජ මහ විහාරස්ථානයේ පැවති උත්සවයක් අමතමින් ඒ හිමියන් දැක්වූයේ, මෙවන් අදහසකි.

  • "අහන්නට ලැබුණා අපට ආරංචියක්. අනාගතයේ ජනාධිපතිතුමා බවට පත් වෙනවා කියලා අපේ චමල් රාජපක්ෂ මැතිතුමා. ඒක අපි දැනගෙන හිටියේ නැහැ. අපි බොහොම සන්තෝෂ වෙනවා."
  • "මාත් කියනවා ඒ කඩවල්වලට (මුස්ලිම්) යන්න එපා. ඒ කඩවල්වලින් කන්ට බොන්ට එපා කියලා. මොක ද ඒක ප්‍රසිද්ධ කාරණයක්. අපිට අපේ ජනතාවට වස විස දීපු අපේ ජනතාව විනාශ කරන්න උත්සහ ගත්ත පිරිසක් කියන එක ඉතා පැහැදිලිව පේනවා. ඒ නිසා, අපේ බෞද්ධ ජනතාව ආරක්ෂා වෙන්න ඕන. ඒ කඩවල්වලට යන්නත් එපා. ඒවා ගන්ඩත් එපා. ඒවා කාපු බාල පරම්පරාවට මං හිතනවා අනාගතයේ දූ දරුවො නැති වෙයි කියලා."
  • "ඒ වගේ ම අර මාතලේ දොස්තර මහත්තයෙක් කරපු වීර ක්‍රියාව පිළිබඳව කවුරුත් දන්නවා. ලක්ෂ ගාණක් අපේ දරුවෝ විනාශ කරලා. ඔය වාගේ ජාති ද්‍රෝහීන්ට නිදහසේ ඉන්න දෙන්න හොඳ නෑ. අර කවුද උපාසක අම්මලා වගයක් කිව්වා ගල් ගහල මරන්න ඕන කියලා. මම ඒක කියන්නේ නෑ. නමුත් කළ යුත්තේ ඒක තමයි. ඒ විදිහේ වැරැද්දක් කළා නම් අපේ මනුස්සයෙක් අපි පෙති ගහලා දානවා. ඔය නීතිරීති ඕවා හරියන්නෙ නෑ."

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

'ට්විටර්' පණිවුඩයක් පළ කරමින් අමාත්‍ය මංගල සමරවීර පවසා ඇත්තේ, "සියලු දෙනාට සාමය සහ ආදරය පතුරුවන ශ්‍රේෂ්ඨ දර්ශනයට එරෙහි ක්‍රියාකාරීත්වයට එරෙහිව දැන් ම සැබෑ බෞද්ධයින් එක්විය යුතු" බවය.

"මිනිසකු ගල් ගසා මැරිය යුතු බව පැවසීමට කිසිදු බෞද්ධයකුට නොහැකි," බව ද එහි දැක්වේ.

මේ අතර, අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා 'ට්විටර්' පණිවුඩයක් පළ කරමින් සඳහන් කර ඇත්තේ, අස්ගිරි නාහිමියන් සිය ප්‍රකාශය "ඉල්ලා අස් කර ගත යුතු" බවය.

විද්වත් මතය

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ බෞද්ධ සංස්කෘතික අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය චන්ද්‍රාණි මුණසිංහ අස්ගිරි මහනා හිමියන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් බීබීසිය කළ විමසීමක දී සිය ප්‍රතිචාරය මෙසේ පළ කළාය.

"බුදු දහමට අනුව ගල් ගහලා මරන්න කිසි ම කෙනෙකුට අයිතියක් නෑ," ඇය පෙන්වා දුන්නාය.

"අදාළ වෛද්‍යවරයා වරදක් කරලා තියෙනවා නම් විද්‍යාත්මකව ඔප්පු කර ගත යුතුයි. ඒ කරුණු සලකලා නීතිය පසිඳලන ආයතනයක් ඔහුට ඊට අදාළ උපරිම දඬුවම් නියම කළ යුතුයි. එහෙම නැතිව චෝදනා ඉදිරිපත් කළ පමණින් ඔහු වරදකරුවෙක් කරන්නත්, ඔහුට දිය යුතු දඬුවම් යෝජනා කරන්නත් කාටවත් අයිතියක් නෑ. ඒවා සිද්ධ විය යුත්තේ රටේ පිළිගත් නීතියට අනුවයි."

ඊට අමතරව භික්ෂූන් වහන්සේ දේශපාලනයට සම්බන්ධ වීම පිළිබඳව ද ආචාර්ය චන්ද්‍රාණි මුණසිංහ බීබීසී සිංහල සේවයට අදහස් පළ කළාය.

"බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ රාජ්‍ය පාලකයන්ට අර්ථයෙන් ධර්මයෙන් දේශනා කිරීම හැර භික්ෂූන් ක්‍රියාකාරීව දේශපාලනය කිරීම නොකළ යුතු බවයි. භික්ෂු සමාජය, ගිහි සමාජයේ දේවල්වලින් විනිර්මුක්ත සමාජයක් විය යුතුයි කියලායි දීඝ නිකායේ සඳහන් වෙන්නේ."

එහෙත්, ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතික පරිසරය තුළ භික්ෂූන් දේශපාලනයට පිවිසීම් ඉතිහාසයේදී ද සිදුවූ බව ඇය පෙන්වා දුන්නාය.

"ඒ අනුව භික්ෂූන් දේශපාලනය ගැන කතා කිරීම වරදක් කියලා කියන්න අමාරුයි. හැබැයි, ඒක බුද්ධ දේශනාව නෙවෙයි. ඒක ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතික පරිසරය තුළ සිදුවන දෙයක්. ඉතිහාසයේ රටට එල්ල වුණ ආක්‍රමණවලදී භික්ෂූන් වහන්සේ පෙරට ඇවිත් රට ආරක්ෂා කරන්න ක්‍රියා කළා."

අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් ප්‍රසිද්ධියේ දේශපාලනික අදහස් පළ කිරීම පිළිබඳව ද බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංස්කෘතික අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්ද්‍රාණි මුණසිංහ කරුණු දැක්වීය.

"ඒක පෞද්ගලික මතය ඉදිරිපත් කිරීමක්. හැබැයි බෞද්ධ දර්ශනය අනුව පොදු ගිහි සමාජයට අදාළ දේශපාලනික කාරණා ගැන කතා කරන්න අනුමැතියක් නැහැ."

"හැම කෙනෙක්ම මරණයට බියයි"

වල්පොළ රාහුල ආයතනයේ විධායක අධ්‍යක්ෂ, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් Right to Life Human Rights Center ආයතනය සමග කළ සංවාදයකදී හිංසාව පිළිබඳව අදහස් දක්වා තිබුණේ මෙසේය.

"හිංසාව, වධයට ලක් කිරීම - පොදුවේ මිනිස්සු විශ්වාස කරන විදිය තමයි - යමක් වුණා ම ගහන්න ඕන. මරන්න ඕන. එහෙම නැත්නම් ඒ කරපු හානියට සමාන හානියක්, අනෙකාට කරන්න ඕන කියන එක. ඒක ලෝක ශිෂ්ටාචාරයේ ඈත ඉඳන් එන ක‍්‍රමයක්. බෞද්ධ ධර්මයට අනුව ඒ දිහා බැලූවොත් ඔය කියන අදහස හරිය කියලා කියන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. බුදු දහමේ වදහිංසාව සම්බන්ධයෙන් එන අදහස සම්පූර්ණයෙන් අනෙක් පැත්ත කියන්නේ. එහි බොහෝම පැහැදිලිව කියනවා හැම කෙනෙක්ම වධයට ලක්වීමට අකමැතියි, හැම කෙනෙක්ම මරණයට බියයි."

කියවන්න;