ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: මුස්ලිම් අමාත්‍යවරු ඉල්ලා අස් වෙති

ඡායාරූප මූලාශ්‍රය, Facebook
රජය නියෝජනය කරන සියලු මුස්ලිම් අමාත්‍යවරුන් සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වන බව අමාත්‍ය රවුෆ් හකීම් නිවේදනය කළේය.
අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, අරලිය ගහ මන්දිරයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.
මේ අනුව, අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් පහත දැක්වේ.
- රවුෆ් හකීම් - ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය
- රිෂාඩ් බදියුද්දීන් - කර්මාන්ත සහ වාණිජ අමාත්‍ය
- අබ්දුල් හලීම් - තැපැල් සේවා හා මුස්ලිම් කටයුතු අමාත්‍ය
- කබීර් හෂීම් - අධිවේගී මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය
ඒ සමඟම මොහමඩ් කාසිම් මොහමඩ් ෆෛසාල්, මොහමඩ් හරීස්, අමීර් අලි සහ අලි සහීර් මවුලානා යන රාජ්‍ය අමාත්‍යවරු ද, අබ්දුල්ලා මහරූෆ් නියෝජ්‍ය ඇමතිවරයා ද සිය පදවිවලින් ඉල්ලා අස් වී තිබේ.
සියලුම මුස්ලිම් මැති, ඇමතිවරුන්ට එරෙහිව එල්ල වන චෝදනා පිළිබඳව කඩිනම් පරීක්ෂණ පවත්වා තමන් ඇතුළු ඕනෑම පුද්ගලයෙකු එම චෝදනාවලට වැරදිකරු බව තීරණය කෙරෙන්නේ නම් ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය පදවියෙන් ඉල්ලා අස් වූ රවුෆ් හකීම් මන්ත්‍රීවරයා කියා සිටියේය.
මාසයක් ඇතුළත එම පරීක්ෂණවල නිගමන ප්‍රකාශයට පත්කරන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද හිටපු අමාත්‍යවරයා පැවසීය.
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post
රතන හිමිගේ උපවාසය
ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි සහ එම් එල් ඒ එම් හිස්බුල්ලා මෙන් ම අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් එම ධූරවලින් ඉවත් කරන ලෙස බල කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කළ උපවාසය දින තුන හමාරකින් පසු සඳුදා (ජූනි 03) අවසන් කෙරිණි.

ඒ, අසාද් සාලි සහ එම් එල් ඒ එම් හිස්බුල්ලා ආණ්ඩුකාර ධූරවලින් ඉවත් වීම සඳහා ඉල්ලා අස් වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත භාර දීමෙන් අනතුරුවය.
රතන හිමියන්ගේ උපවාසයට සහය දෙමින් බස් රථ වර්ජන, විරෝධතා සහ උද්ඝෝෂණ රට පුරා ප්‍රදේශ කිහිපයක පැවැත්විණි.

හිස්බුල්ලාගේ ලිපිය
මේ අතර, පදවියෙන් ඉල්ලා අස්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යවන නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්එල්ඒඑම් හිස්බුල්ලා පවසන්නේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් දිය නොහැකි බැවින් ඉල්ලා අස්වන බවය.
පාස්කු ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාර ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව දැඩිව හෙළා දකින නමුත් "මුස්ලිම් ප්‍රජාව පිළිබඳව භයානක මනෝභාවයක් මවාපෑම සඳහා සූක්ෂම ව්‍යාපාරයක් දියත් වෙමින් පවතී," යනුවෙන් ද එම ලිපියේ සඳහන් වේ.
"මා ඉල්ලා අස් නොවුනහොත් මුස්ලිම් ප්‍රජාවගේ දේපළ සහ ජීවිත විනාශ වීමේ බරපතල තර්ජනයක් ද," මතු වී ඇති බව පවසන පදවියෙන් ඉල්ලා අස් වූ ආණ්ඩුකාරවරයා, "මුස්ලිම් ප්‍රජාවගේ ආරක්ෂාව පිළිබඳව කිසිදු සහතිකයක් දිය නොහැකි තත්වයක් උද්ගතව ඇති බව මා හට ඉතාම පැහැදිලිව ඒත්තු ගොස් ඇති බැවින් මගේ ප්‍රජාව ගේ යහ පැවැත්ම පිළිබඳව පමණක් සැලකිල්ලට ගනිමින් පදවියෙන් ඉල්ලා අස්වන බව වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
වැඩිදුර කරුණු විමසීම පිණිස හිටපු ආණ්ඩුකාර අසාත් සාලි ඇමතීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සහය සාර්ථක නොවීය.
මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කතානායක කරු ජයසූරිය පවසන්නේ, සුළු පිරිසක් විසින් කරන ලද අපරාධ සම්බන්ධයෙන් සමස්ත මුස්ලිම් ජනතාවට දඬුවම් නොකළ යුතු බවය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
ශ්‍රී ලංකාවේ දේශපාලනය තවදුරටත් වාර්ගික පදනම මත බෙදී වෙන් නොවිය යුතු බව අවධාරණය කරන කතානායකවරයා, ඇතැමුන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වහාම අවශ්‍ය පියවර ගත යුතු බවත් පෙන්වා දෙයි.
කියවන්න:








