ශ්‍රී ලංකාවේ යුද්ධය නිම වී දස වසරක්: අතුරුදන් වූ ෆ්‍රැන්සිස් පියතුමා සොයා යාම

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 10ක් ගත වී තිබේ. දහස් සංඛ්‍යාත පිරිසකට, අතුරුදන් වූ සිය පවුලේ සාමාජිකයින් සහ හිතවතුන් යුද්ධයේ කම්පනය නිරන්තරයෙන් සිහියට නගන්නකි. මේ ෆ්‍රැන්සිස් පියතුමාගේ කතාවය.
2009 වසරේ මැයි මස 18 වන දා දශක තුනක් පුරා පැවති කෲර ගැටුම අවසන් විය. එම ගැටුම්වලින් පුද්ගලයින් 100,000කගේවත් ජීවිත අහිමි වූ බව ඇස්තමේන්තු කෙරේ. තවත් දහස් ගණනක් තවමත් අතුරුදන්ව සිටිති.
යුද්ධය සිදු වූයේ දෙමළ විමුක්ති කොටි සංවිධානය සහ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා අතරය. සුළුතර දෙමළ ජනතාව අතර සිටි පිරිසකට ස්වාධීන රාජ්‍යයක් සඳහා ඇති වූ ආශාව බෙදුම්වාදී සන්නද්ධ කැරලි කණ්ඩායමක් බවට පත් විය. එල්ටීටීඊය හෙවත් දෙමළ විමුක්ති කොටි සංවිධානය බිහි වූයේ එලෙසය. ඔවුන් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සමග ගැටුණු අතර සිවිල් වැසියන්ට එරෙහිව කෲරත්වය මුදා හැරි බවට දෙපාර්ශවයටම චෝදනා එල්ල විය.
යුද්ධයේ අවසන් දිනයේදී, දෙමළ ජාතික කතෝලික දේවගැතිවරයෙක්, එල්ටීටීඊ සාමාජිකයින් සහ දෙහැවිරිදි වියේ පසු වූ ළදරුවන් හා දරුවන් ඇතුළු 360 දෙනෙකුට යටත් වීම සඳහා එකඟතාවක් ඇති කරගෙන තිබිණි. ඔවුන් සියලු දෙනා ආරක්ෂක හමුදාවලට අයත් බස් රථවලට නැගුණු අතර ඉන්පසු ඔවුන් දකින්නට නොලැබිණි.

ඡායාරූප මූලාශ්‍රය, BBC/ELAINE JUNG
ෆ්‍රැන්සිස් පියතුමන් දෙමළ ජාතිකයින්ගේ නිදහස වෙනුවෙන් සහය පළ කළ අයෙකු වුව ද ඔහු ආයුධ ගත්තේ නැත. ඔහුගේ එක ම අවිය වූයේ, වචන පමණි.
යුද්ධය අවසන් වීමට දින 8කට පෙර ඔහු සහය ඉල්ලා වතිකානුව වෙත අපේක්ෂා භංගත්වයෙන් යුතුව පිටු තුනක ලිපියක් ලිව්වේය. එය ලියා තිබුණේ බංකරයක් තුළ සිටය. එම බංකරය දැන් මිය ගිය දෙමළ වැසියන් සිහි කිරීම පිණිස ඉදිකර ඇති ස්මාරකයකි. ලේ තැවරුණු කොන්ක්‍රීට් අතක් එහි දැක්වේ. මේ පිළිබඳ අදහස් විමසීම පිණිස බීබීසී ය වතිකානය ඇමතූ නමුත් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැත.
-----------------------------------------------------------------------
2009 මැයි 10
ශුද්ධ වූ බෙනඩික්ට් පාප් තුමන් වෙත,
දෙමළ ජාතිය සමූල ඝාතනය කිරීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව යුද්ධය දියත් කරමින් සිටී, එය ජන සංහාරක යුද්ධයකි.
----
විෂ සහ සෞඛ්‍යයට අහිතකර වායුවලින් දූෂණය වූ වාතලයළදරුවන්ගේ, ළමුන්ගේ, කාන්තාවන්ගේ සහ වැඩිහිටියන්ගේ දුක් අඳෝනාවලින් පිරී පවතී.
----
පවත්නා යුද්ධය පිළිබඳව ප්‍රබල සහ පැහැදිලි අදහස් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාවේ කතෝලික සභාවට දැක්මක් හෝ ශක්තියක් නොමැති වීම අවාසනාවන්ත තත්ත්වයකි.
----
මෙම ලිපිය ශ්‍රී ලංකා රජයේ උදහසට ලක්වන බව මා නොදන්නවා නොවේ, මීට පළිගැනීමක් ලෙස මා ඝාතනය කිරීමට ද ඉඩ ඇත. ඔබේ ශුද්ධ වූ ආශීර්වාදය ඉල්ලා සිටිමි,
දේවගැති ජී.ඒ ෆ්‍රැන්සිස් ජෝසෆ්
- දේවගැති ෆ්‍රැන්සිස්ගේ විවෘත ලිපියෙන් උපුටා ගත්තකි.
---------------------------------------------------------------------------
එම ලිපිය ලියා දින කිහිපයකින් එල්ටීටීඊය සම්පූර්ණයෙන්ම පාහේ පරාජයට පත් වීමත් සමග ෆ්‍රැන්සිස් දේවගැතිවරයා දෙමළ වැසියන්, කාන්තාවන් සහ දරුවන් දහස් ගණනක් සමගින් වට්ටුවගල් පාලම හරහා රජයේ පාලන ප්‍රදේශය වෙත පැමිණියේය. ඇසින් දුටු පුද්ගලයින් පවසන්නේ, ඒ වන විට ජලාශයේ මළ සිරුරු සහ රුධිරය දක්නට ලැබුණු බවය.

ඡායාරූප මූලාශ්‍රය, BBC/ELAINE JUNG
මේ දක්වාම ෆ්‍රැන්සිස් දේවගැතිවරයාගේ හිතවතුන් ඇතුළු දහස් ගණන් පිරිස් නිරන්තරයෙන් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ වීදි බැස අතුරුදහන් වූවන් පිළිබඳව ප්‍රතිචාර ඉල්ලා සිටිති.
එම විරෝධතාවලට එක්වූ බොහෝ පිරිසක් යුද්ධයේ අවසන් අදියරේදී පටු වෙරළ තීරයක සිර කරගෙන සිටි දෙමළ වැසියන් 300,000 අතර සිටි පුද්ගලයෝ වෙති. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, අවසන් මාස කිහිපය තුළ පුද්ගලයින් 40000ක් පමණ ජීවිතක්ෂයට පත් වූ අතර, බරපතළ තුවාල ලැබූවන් සංඛ්‍යාව ගණනය කළ නොහැකි තරම් වන බවය. එහෙත්, ශ්‍රී ලංකා රජය එම සංඛ්‍යා ප්‍රතික්ෂේප කරයි. ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කළ දත්ත අනුව මරණ සංඛ්‍යාව එක්සත් ජාතින්ගේ දත්තවලින් කාලකටත් අඩුය.
ආරක්ෂක අංශ අවධාරණය කරනුයේ, යටත් වූ පුද්ගලයන් ඝාතනය නොකළ බවය. ඔවුන් තනි සිද්ධි සම්බන්ධයෙන් අදහස් නොදක්වයි.

ඡායාරූප මූලාශ්‍රය, BBC/ELAINE JUNG
මේ වන විට 90 වන වියේ පසුවන මෝසෙස් අරුලානන්දන් ෆ්‍රැන්සිස් දේවගැතිවරයාගේ ඥාති සොහොයුරෙකි. ඔහු ෆ්‍රැන්සිස් දේවගැතිවරයාගේ අතුරුදන් වීම පිළිබඳව අධිකරණයේ සහය පැතූ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයට පෙත්සමක් ද ඉදිරිපත් කළේය. එහෙත්, ඒ දෙක ම ව්‍යර්ථ විය.
"අපිට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ එයා ගැන දුක් වෙන එකයි අඬන එකයි විතරයි," මෝසෙස් අරුලානන්දන් පැවසීය. "අපි ගොඩක් ළඟින් ඇසුරු කළා. එයා මගේ ම සහෝදරයෙක් වගේ හිටියේ... එයාගේ දෙමාපියන්ට හිටිය එක ම පුතා එයා. ෆ්‍රැන්සිස් ඉගෙන ගන්න කාලේ ගෙදර තනියම හිටිය එයාගේ අම්මාට උදව් කළේ මම."

ඡායාරූප මූලාශ්‍රය, BBC/ELAINE JUNG
පාසල් ශිෂ්‍යයෙකු ලෙස ෆ්‍රැන්සිස් පළමුවෙන් ම පැමිණ ඇත්තේ, යාපනයේ ශාන්ත පැට්‍රික් විද්‍යාලයටය. ඔහු කතෝලික දේවගැතිවරයෙකු බවට පත් වීමෙන් පසු ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස ද පාසල් විදුහල්පතිවරයෙකු ලෙස ද සේවය කළේය. ඔහුගේ ජීවිතයෙන් විශාල කොටසක් ගෙවුණේ පන්ති කාමර තුළ, විදුහල් දේවස්ථානය තුළ සහ පාසල් ක්‍රිකට් කණ්ඩායම සමගය.
පාසලේ ආදි ශිෂ්‍යයින් පවසන්නේ, ඔහු එවකට සිටි සෑම ශිෂ්‍යයෙකු ම නමින් දන්නා බවය. තවමත් පාසල් පුස්තකාලයේ තබා තිබෙන ඔහුගේ ඡායාරූපය පාසලේ සිසුවන් දෙස දෑස් යොමා සිටී.
"එයා ගැන තොරතුරක් ලබා දෙන්න කියලා මම හැම දා ම දෙවියන් වහන්සේටයි මරියා මව් තුමියටයි යාච්ඤා කරනවා," අරුලානන්දන් ඇඬුම් ස්වරයෙන් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, BBC/ELAINE JUNG
ෆ්‍රැන්සිස් දේවගැතිවරයා රජයේ හමුදා දැඩි ලෙස විවේචනය කළ ද, එල්ටීටීඊ සාමාජිකයින් කළ කෲරකම් පිළිබඳව ඔහු මුනිවත රැකීය.
ඊලාම් නමැති දෙමළ වෙන ම රාජ්‍යයක් පිහිටුවීම සඳහා ගෙන ගිය සටනෙහිදී එල්ටීටීඊ සංවිධානය ඉලක්ක කර ඝාතනය කිරීම්, සමූහ මිනිස් ඝාතන මෙන් ම පිරිමි සහ කාන්තා මරාගෙන මැරෙන ප්‍රහාරකයන් ද භාවිත කරමින් කෲර උපක්‍රම රැසක් ක්‍රියාත්මක කළේය. 2002 සිට 2007 දක්වා කාලය තුළ කොටි සංවිධානය බලහත්කාරයෙන් ළමුන් 6000ක් බඳවා ගත් විශ්වාස කෙරෙන අතර, ලේඛනගත නොවූ ළමුන් 1300ක් පමණ බඳවාගෙන ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
අවසන් යටත් වීම් සිදු වූ සතියේදී, එල්ටීටීඊ සාමාජිකයින් මෙන් ම සිවිල් වැසියන්ගේ ඉරණම විශාල පිටියක පැවති යුද්ධ හමුදා මුරපොළක් මත රැඳී තිබිණි.
ජයකුමාරි ක්‍රිෂ්ණකුමාර් යනු ෆ්‍රැන්සිස් දේවගැතිවරයා සමග බස් රථයට ගොඩවූ ප්‍රබල එල්ටීටීඊ සාමාජිකයෙකු සමග විවාහ වී සිටි කාන්තාවකි. ඇය පැවසුවේ, දේවගැතිවරයා යටත් වීමට පැමිණි සියලු දෙනාගේ ලැයිස්තුවක් සකස් කළ බවය.

ඡායාරූප මූලාශ්‍රය, BBC/ELAINE JUNG
"මගේ සැමියා බස් එකට ගොඩ වුණා මුලින් ම, පස්සේ තව ගොඩක් අය නැග්ගා. අන්තිමට නැග්ගේ ෆ්‍රැන්සිස් පියතුමා. ෆ්‍රැන්සිස් පියතුමා හිතුවේ යුද්ධ හමුදාව සුදු ලෝගුවට ගරු කරයි කියලා," ඇය ආවර්ජනය කළාය. "එයා බය වෙලා වගේ හිටියේ. ඒත් එයා හොඳින් හිටියා. එතන හිටිය මිනිස්සු හිතුවේ පියතුමා එක්ක ගියොත් ආරක්ෂිතයි කියලා."
"මේ සිද්ධිය තමයි ශ්‍රී ලංකා හමුදාව යටතේ වැඩි ම පිරිසක් බලහත්කාරයෙන් අතුරුදහන් කෙරුණ අවස්ථාව," ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ විද්වත් මණ්ඩලයේ හිටපු සාමාජිකාවක වන යස්මින් සූකා පැවසීය.
අතුරුදන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින් පවසන්නේ, අධිකරණයෙන් ඔවුන්ට කිසිදු සාධාරණයක් ඉටු නොවූ බවය.
සූකා පවසන්නේ, අතුරුදන් වූවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී රජය අසමත් වී ඇති බවය. "අදාළ පිරිස යටත් වීමෙන් පස්සේ මානුෂීය නීතිය අනුව ආරක්ෂාව ලබා ගැනීමට ඔවුන්ට අයිතියක් තියෙනවා. ඔවුන්ට ගෞරවණීය ලෙස සැලකුම් ලැබීමට සහ ජීවිතය ආරක්ෂා කරගැනීමට අයිතියක් තිබෙනවා."
ආරක්ෂක හමුදා පවසන්නේ ඔවුන් යුද අපරාධයක වින්දිතයින් නොවූ බවය.
"අනිවාර්යයෙන් ම, යුද්ධ හමුදාවට භාර වුණ කිසි ම කෙනෙක් ඝාතනය කළේ නැහැ," හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු පැවසීය.
ඔහු තවදුරටත් සඳහන් කළේ, මේ වන විට කිසිදු සිරකරුවෙකු රඳවාගෙන නොමැති බවය. "එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු විදේශ දූත පිරිස් ඇවිත් අපේ රැඳවුම් කඳවුරු පරීක්ෂා කළා. ශ්‍රී ලංකාවේ සැඟවූ රැඳවුම් මධ්‍යස්ථාන නැහැ... යටත් වූ පුද්ගලයින් සහ ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ වී අත්අඩංගුවට පත් වූවන් ලේඛනගත කර තියෙනවා."

ඡායාරූප මූලාශ්‍රය, BBC/ELAINE JUNG
ෆ්‍රැන්සිස් දේවගැතිවරයා කෝ?
වසර ගණනක් මුළුල්ලේ ජාත්‍යන්තර වශයෙන් එල්ල වූ පීඩනය හමුවේ ආණ්ඩුව විසින් 2017 වසරේදී අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය ස්ථාපනය කරනු ලැබිණ. ලේඛනගත නොවූ දහස් ගණනක් පුද්ගලයින් පිළිබඳව සොයා බැලීම සඳහා බරපතල කාර්යභාරයක් එම කාර්යාලයට පැවරිණ.
මෙතෙක් කිසිදු පුද්ගලයෙකු සොයාගෙන නොමැත. එහෙත්, කාර්යාලය අවධාරණය කරන්නේ, ඔවුන් උත්සහ කරන බවය.
"අපිට නිකම් ම එළියට බැහැලා අපි මිනිස්සු හොයනවා කියලා කියන්න බැහැ. ඒක ඒ විදිහට කරන්න බෑ. තොරතුරු සෙවීම, ලේඛන ඉදිරිපත් කිරීම, දත්ත ගබඩාවක් සකස් කිරීම වගේ දේවල්වලට කාලයක් ගත වෙනවා," එම කාර්යාලයේ ප්‍රධානී සාලිය පීරිස් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, BBC/ELAINE JUNG
අතුරුදන් වූවන් සහිත පවුල්වලට බලාපොරොත්තුව සහ හද කම්පනය සමානව දැනේ.
අතුරුදන් වූවන්ගේ භාර්යාවෝ සිය විවාහයේ සලකුණක් ලෙස රතු පැහැති තිලක තබාගෙන සිටිති.
සිය දෙමාපියන් යළි පැමිණෙන තුරු දරුවන් තවමත් බලා සිටිති. ෆ්‍රැන්සිස් දේවගැතිවරයා සොයා ගැනීමේ අපේක්ෂාව ද කිසිවෙකු තුළ මැකී ගොස් නැත.
"ඇත්ත කවදා හරි දවසක එළියට ඒවි," අරුලානන්දන් පැවසීය.
(වාර්තාව: එලෙයින් යුං, ලුවී ඇඩමෝ සහ ස්වාමිනාදන් නටරාජන්)








