ශ්‍රී ලංකාවේ ප්‍රහාර: සහ්රාන්ගේ සොයුරිය සතුව මිලියන දෙකක මුදලක් -පොලිසිය

ජාතික තව්හිඩ් ජමාත් සංවිධානයේ මොහමඩ් සහ්රාන්

ඡායාරූප මූලාශ්‍රය, YOUTUBE

ඡායාරූප ශීර්ෂ වැකිය, ජාතික තව්හිඩ් ජමාත් සංවිධානයේ මොහමඩ් සහ්රාන්

මොහමඩ් සහ්රාන් නමැති මරාගෙන මැරෙන බෝම්බකරුගේ වැඩිමහල් සහෝදරිය සන්තකයේ තිබී රුපියල් මිලියන දෙකක මුදලක් සොයා ගත් බව පොලිසිය පවසයි.

මුහම්මදු කාසිම් මතතියා නමැති මෙම කාන්තාව මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන බව පොලිස් ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර බීබීසී සිංහල සේවයට සනාථ කළේය.

ඔහු තවදුරටත් කියා සිටියේ ඇය සතුව තිබූ රුපියල් මිලියන දෙකක මුදල ඇයගේ සහෝදරයා වන මොහමඩ් සහ්රාන් නමැති බෝම්බකරු විසින් ඇයට ලබා දී ඇති බවට පොලිසිය සැක කරන බවය.

සතියකට පෙර

සහ්රාන් සිය බෝම්බය පුපුරවා ගැනීමට සතියකට පෙර එම මුදල් තොගය සිය සහෝදරියට දෙන්නට ඇතැයි විශ්වාස කරන බවද පොලිසිය පැවසීය.

මෙම කාන්තාව බදාදා (මැයි 01) අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මඩකලපුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසිනි.

පොලිස් අත්අඩංගුවේ පසුවන ඇය භාර දිය යුත්තේ ත්‍රස්ත විමර්ශන ඒකකයට ද නැතහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද යන්න තවමත් තීරණය කර නැතැයි ද පොලිස් ප්‍රකාශකවරයා පැවසීය.

ඉරිදා දේව මෙහෙය

කොළඹ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපස පැවැත්වුන විශේෂ දේව මෙහෙය

ඡායාරූප මූලාශ්‍රය, TWITTER/ OMAR RAJARATNAM

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය ඉරිදා කොළඹ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපස පැවැත්වුන විශේෂ දේව මෙහෙය

ශ්‍රී ලංකාවේ සියලුම කතෝලික දෙව්මදුරුවල ලබන ඉරිදා (මැයි 05) පැවැත්වීමට නියමිතව තිබුණු දේව මෙහෙයන් නවතා දැමීමට තීරණය කළ බව මේ අතර කොළඹ අගරදගුරු, මැල්කම් කාදිනල් රංජිත් නිවේදනයක් නිකුත් කරමින් පවසති.

ඒ අනුව නැවත දැනුම්දෙන තුරු එම දේව මෙහෙයන් නවතා දමනු ලැබ තිබේ.

එමෙන්ම සියලුම කතෝලික පාසල් ද නැවත දැනුම්දෙන තුරු විවෘත නොකරන මෙන් අගරදගුරු හිමියන් දැනුම් දී තිබේ.

අවසන් කටයුතු

මේ අතරතුර කල්මුනේ සයින්දමර්දු හි සිදුවූ පුපුරුවා ගැනීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් 10 දෙනකුගේ මෘත ශරීර අදාළ විමර්ශන සහ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව පොලිසිය විසින් බ්‍රහස්පතින්දා (අප්‍රේල් 02) භූමදානය කිරීමට කටයුතු කරනු ලැබ තිබේ.

මියගිය අය අතර සිටි වැඩිහිටියන්ගේ අවසන් කටයුතු කිසිදු ආගමික කටයුත්තකින් තොරව සිදු කෙරුණු බව ද පොලිසිය පවසයි.

මරාගෙන මැරෙන ප්‍රහාර සිදු කළ පුද්ගලයින්ගේ සිරුරු වෙනුවෙන් ආගමික වතාවත් සිදුකිරීම ඉස්ලාම් ආගමික නියෝජිතයින් ප්‍රතික්ෂේප කීරීම හේතුවෙන් පොලිසිය මෙම පියවර ගෙන තිබේ.

නමුත් එම පිපිරීමෙන් මියගිය කුඩා දරුවන් 06 දෙනෙකුගේ මෘත ශරීර පොලිසිය මැදිහත්ව අදාල ආගමික කටයුතු වලට අනුව භූමදානය කිරීමට අද සවස කටයුතු කරන බව ද පොලිස් ප්‍රකාශක මාධ්‍යයට දැනුම් දුන්නේය.

දිවයින පුරා සෝදිසි මෙහෙයුම් තවදුරටත් සිදු කරමින් පවතින බවත් හදිසි අවස්ථා තත්ත්වය යටතේ ත්‍රිවිධ හමුදාවටත් යම්කිසි ස්ථානයක් සෝදිසි කිරීමට පූර්ණ බලතල පවතින බවත් පොලිසිය පවසයි.