ජපානය: අකිහිතෝ යුගය නිම වෙයි; නරුහිතෝ යුගය එළඹෙයි

ජපානය: අකිහිතෝ යුගය නිම වෙයි; නරුහිතෝ යුගය එළඹෙයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters

තමන් "රටේ මෙන් ම එක්සත්භාවයේ ද සංකේතය" ලෙස සිය කාර්යභාරය ඉටු කරන බවට පොරොන්දු වන බව ජපානයේ නව අධිරාජ්‍ය නරුහිතෝ පළමු වරට ජපාන වැසියන් අමතමින් පැවසීය.

59 හැවිරිදි ඔහුගේ නව පාලන සමයේ නිල ආරම්භය සනිටුහන් කරමින් බදාදා (මැයි 01) ඉම්පීරියල් පැලස්හි පැවති කෙටි සංකේතාත්මක උත්සවයේදී නරුහිතෝ එම අදහස් පළ කළේය.

නරුහිතෝ ජපාන අධිරාජ්‍ය ධූරයට පත් වූයේ, ඔහුගේ පියා වන 85 හැවිරිදි අකිහිතෝ සිය වයස්ගතභාවය සහ දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ධූරය අත්හැරීම හේතුවෙනි.

අකිහිතෝ යුගය නිම වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters

වසර 200කට අධික කාලයකට පසු රජකම අත්හරින ලද පළමු ජපාන අධිරාජ්‍යයා වූයේ, ඔහුය.

මෙතැන් සිට අධිරාජ්‍ය (ගෞරවණීය) (Emperor Emeritus) ලෙස හැඳින්වෙන අකිහිතෝ, සිය පාලන සමය තුළදී ජපාන වැසියන්ගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ අධිරාජ්‍යයෙකි. ඒ, ඔහු රෝගවලින් සහ ආපදාවලින් පීඩාවට පත් ජනතාව සමග පැවැත්වූ අන්තර් සබඳතා හේතුවෙනි.

සිය නිල දේශනයේදී නව අධිරාජ්‍ය නරුහිතෝ සිය පියා කළ මෙහෙය පිළිබඳව ද කෘතඥතාව පළ කළේය.

"(අකිහිතෝ) තමන්ගේ ම ක්‍රම වේදයකට ඔහු තුළ පැවති ගැඹුරු දයානුකම්පාව පෙන්නුම් කළා," ඔහු පැවසීය.

"මම දිවුරා පොරොන්දු වෙනවා, ඒ ගෞරවණීය අධිරජුගේ මෙහෙය එලෙස ම කරන්න... ඒ වගේ ම රටේ සහ ජපාන ජනතාවගේ එක්සත්භාවයේ සංකේතය ලෙස මගේ වගකීම් ඉටු කරන්න මම ක්‍රියා කරනවා."

මේ තොරතුරුද කියවන්න:

අභිෂේක උත්සවයේදී සිදු වූ දේ

අඟහරුවාදා මධ්‍යම රාත්‍රියෙන් අකිහිතෝ අධිරාජ්‍යයාගේ පාලන සමය අවසන් වීමත් සමග නරුහිතෝ අධිරාජ්‍යයා ලෙස මූලිකව පිළිගැනුණු අතර ඒ අනුව, අභිනව රෙයිවා යුගය ආරම්භ විය.

බදාදා දිනයේදී සංකේතාත්මකව අධිරාජ්‍ය ධූරයට පත් වෙමින් ඔහු ශුද්ධ වූ අධිරාජ්‍ය සංකේත වන පාරම්පරික කඩුව සහ මැණික භාර ගත්තේය. එය පරම්පරාවෙන් පරම්පරාවට භාර දෙනු ලබන රාජ්‍යත්වයේ සංකේතයයි.

අකිහිතෝ යුගය නිම වෙයි; නරුහිතෝ යුගය එළඹෙයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ජපාන අධිරාජ්‍යයෝ කිරුළක් නොපළඳින අතර, කඩුව, මැණික සහ කැඩපතක් අධිරාජ්‍ය බලය හැඟවෙන සංකේත ලෙස භාවිත කරති.

කෙසේ වෙතත්, මෙම අභිෂේක උත්සවය සඳහා යොදා ගනු ලබන්නේ, සැබෑ සංකේත නොවන අතර, සැබෑ කඩුව, මැණික සහ කැඩපත ජපානයේ පූජනීය ස්ථානවල ආරක්ෂිතව තැන්පත් කර තිබේ. ඒවා මහජනතාවට නැරඹීමට ඉඩක් නැත.

අභිනව අධිරාජ්‍යයා පිළිබඳ තතු

නරුහිතෝ ජපානයේ 126 වන අධිරාජ්‍යයා වේ. ඒ අනුව, බදාදා (මැයි 01) සිට එරට රයිවා යුගය (Reiwa era) ඇරඹිණි. ඒ සමග ම 1989 වසරේදී අකිහිතෝ අධිරාජ්‍යයා එම ධූරයට පත් වීමත් සමග ඇරඹුණු හෙයිසෙයි යුගය (Heisei era) අවසන් විය.

59 හැවිරිදි නරුහිතෝ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති අතර ඔහු ඔටුන්න හිමි කුමරු බවට පත් කරන ලද්දේ, වයස අවුරුදු 28දීය.

1986 වසරේදී තේ පැන් සාදයක් අතරතුරදී ඔහුගේ බිරිඳ වන මසාකෝ ඔවාඩා කුමරිය ඔහුට හමු වී තිබේ. ඔවුන් විවාහ වූයේ, 1993 වසරේදීය.

නරුහිතෝ සහ මසාකෝ විවාහ වූ දිනයේදී ගත් ඡායාරූපයක්

ඡායාරූප මූලාශ්‍රය, AFP PHOTO / IMPERIAL HOUSEHOLD AGENCY

ඡායාරූප ශීර්ෂ වැකිය, නරුහිතෝ සහ මසාකෝ විවාහ වූ දිනයේදී ගත් ඡායාරූපයක්

ඔවුන් දෙදෙනාගේ එක ම දරුවා වන අයිකෝ කුමරිය 2001 වසරේදී උපත ලැබීය. කෙසේ වෙතත්, ජපානයේ වත්මන් නීතිය අනුව කාන්තාවන් අධිරාජ්‍ය ධූරයට පත් වීම වළක්වා ඇති හෙයින් නරුහිතෝගේ දියණියට සිය පියාගේ උරුමය හිමි නොවනු ඇත.

නරුහිතෝගෙන් පසු අධිරාජ්‍ය ධූරයට සුදුසුකම් ලබා සිටින්නේ අයිකෝ කුමරියගේ බාප්පා වන ෆුමිහිතෝය. ඔහුගෙන් පසු අයිකෝ කුමරියගේ ඥාති සොයුරා වන 12 හැවිරිදි හිසහිතෝ කුමරු ඔටුන්නට හිමිකම් කියනු ඇත.

අධිරජුගේ බිරිඳ මානසික පීඩනයක

රාජකීය දිවි පෙවෙතට හුරු වීමට අපහසු වීම සහ අධිරාජ්‍ය ධූරයට උරුමකම් කීම සඳහා පිරිමි දරුවෙකු බිහි කිරීමට නොහැකි වීම නිසා එල්ල වූ පීඩනය යන කරුණු හේතුවෙන් නරුහිතෝගේ බිරිඳ වන මසාකෝ මානසික පීඩනයකට ලක්ව සිට ඇත.

අධිරාජ්‍යයෙකුගේ බිරිඳක බවට පත් වීම සම්බන්ධයෙන් ඇය පසුගිය වසරේදී මානසික පීඩනයකට ලක්ව සිටි බව වාර්තා විය.

ජපානයේ අධිරාජ්‍ය ධූරය වැදගත් වන්නේ ඇයි?

පාරම්පරික උරුමය මත අඛණ්ඩව පවත්වාගෙන යන අධිරාජ්‍ය ධූරය මෙය වේ. විද්වතුන් පවසන්නේ, එයට ක්‍රිස්තු පූර්ව 600 දක්වා දිවෙන දීර්ඝ ඉතිහාසයක් හිමි බවය.

ජපානයේ අධිරාජ්‍යයෝ දේවත්වයෙහිලා සලකනු ලැබූහ. එහෙත්, දෙවන ලෝක සංග්‍රාමයේදී ජපානය පරාජයට පත්වීමෙන් පසු අකිහිතෝගේ පියා වූ එවකට අධිරාජ්‍යයා ලෙස ක්‍රියා කළ හිරොහිතෝ තමන්ගේ දේවත්වය අත්හරින බව ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළේය.

යුද්ධයෙන් පසුව හානියට පත් ජපානයේ ප්‍රතිරූපය යළි ගොඩ නැගීමට සහය වූයේ, අකිහිතෝ අධිරාජ්‍යයාය.