සිය කැමැත්තෙන් රජකම අතහරින අකිහිතෝ අධිරාජ්‍යයා

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයා තම සිහසුන අත්හැරීම සනිටුහන් කිරීම වෙනුවෙන් සිදු කෙරෙන ඓතිහාසික අවසන් උත්සවය තෝකියෝ නුවර ඉම්පීරියල් පැලස්හිදී පැවැත්විණ.
ශතවර්ෂ දෙකකට වැඩි කාලයකට පසුව සිය කැමැත්තෙන් රජකමෙන් ඉවත් වන පළමු ජපාන අධිරාජ්‍යයා වන්නේ, ඔහුය.
ඔහුගේ වයස සහ පිරිහෙමින් පවතින සෞඛ්‍ය තත්ත්වය එම ධූරය දැරීමට යෝග්‍ය නොවන බව ඔහු විසින්ම ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අකිහිතෝ අධිරාජ්‍යයාට එය අත්හැරීමට අවසරය ලැබිණි.
85 හැවිරිදි අකිහිතෝ අධිරාජ්‍යයා දශක තුනක් ඔටුන්න දරා සිටියේය.
ඒ සමගම ජපානයට නව යුගයක් ආරම්භ කරමින් ඔටුන්න හිමි නරුහිතෝ කුමරු බදාදා (මැයි 01) අභිෂේක ගැන්වීමට නියමිතය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජපානයේ අධිරාජ්‍යයාට දේශපාලනික බලයක් නොමැති අතර ජාතික සංකේතයක් ලෙස රාජත්වය උසුලයි.
අකිහිතෝ අධිරාජ්‍යයා රෝගීන් සහ ආපදාවන්ට ලක්වූවන් පිළිබඳව නිරන්තරයෙන් සොයා බැලූවෙකු හෙයින් බොහෝ ජපාන වැසියන්ගේ ගෞරවාදරයට පත්ව සිටී.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
මෙම උත්සව මාලාවේ පළමු උත්සවයේදී සිදු කළේ, සිය ඉවත් වීම පිළිබඳව ජපාන අධිරාජ්‍ය පවුලේ මීට පෙර සිටි මුතුන් මිත්තන්ට දන්වා සිටීමය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පළමු උත්සවය පෞද්ගලිකව පැවැත්වෙන පවුලේ උත්සවයක් වන අතර ජපාන වැසියන්ට නැරඹිය හැක්කේ අඟහරුවාදා පැවැත්වෙන සමුගැනීමේ උත්සවයයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
බදාදා උදෑසන පැවැත්වෙන උත්සවයේදී නව අධිරාජ්‍යයා ලෙස නරුහිතෝ කුමරු අභිෂේක ගන්වනු ඇත.
අධිරාජ්‍යයා ඉවත් වීමට තීරණය කළේ ඇයි?
1817 වසරෙන් පසු ස්වේච්ඡාවෙන් සිය ධූරය අත්හළ පළමු ජපාන අධිරාජ්‍යයා අකිහිතෝ වේ.
85 හැවිරිදි ඔහු කලාතුරකින් සිදු කරන ජනතාව ඇමතීමකදී 2016 වසරේදී පැවසුවේ, ඔහුගේ වයස හේතුවෙන් සිය රාජකාරි තවදුරටත් ඉටු කළ හැකි ද යන්න පිළිබඳව සැකසහිත බවය. ඔහු එහිදී පැහැදිලිව ඉඟි කළේ තමන්ට ධූරයෙන් ඉවත් වීමට අවශ්‍ය බවටය.
කවුද මේ ඔටුන්න හිමි කුමරු?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නරුහිතෝ කුමරු ජපානයේ 126 වන අධිරාජ්‍යයා බවට පත්වීමට නියමිතය. ඒ අනුව, බදාදා (මැයි 01) සිට එරට රයිවා යුගය (Reiwa era) ඇරඹෙනු ඇත. ඒ සමග ම 1989 වසරේදී අකිහිතෝ අධිරාජ්‍යයා එම ධූරයට පත් වීමත් සමග ඇරඹුණු හෙයිසෙයි යුගය (Heisei era) අවසන් වනු ඇත.
59 හැවිරිදි නරුහිතෝ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති අතර ඔහු ඔටුන්න හිමි කුමරු බවට පත් කරන ලද්දේ, වයස අවුරුදු 28දීය.
1986 වසරේදී තේ පැන් සාදයක් අතරතුරදී ඔහුගේ බිරිඳ වන මසාකෝ ඔවාඩා කුමරිය ඔහුට හමු වී තිබේ. ඔවුන් විවාහ වූයේ, 1993 වසරේදීය.

ඔවුන් දෙදෙනාගේ එක ම දරුවා වන අයිකෝ කුමරිය 2001 වසරේදී උපත ලැබීය. කෙසේ වෙතත්, ජපානයේ වත්මන් නීතිය අනුව කාන්තාවන් අධිරාජ්‍ය ධූරයට පත් වීම වළක්වා ඇති හෙයින් නරුහිතෝගේ දියණියට සිය පියාගේ උරුමය හිමි නොවනු ඇත.
නරුහිතෝගෙන් පසු අධිරාජ්‍ය ධූරයට සුදුසුකම් ලබා සිටින්නේ අයිකෝ කුමරියගේ බාප්පා වන ෆුමිහිතෝය. ඔහුගෙන් පසු අයිකෝ කුමරියගේ ඥාති සොයුරා වන 12 හැවිරිදි හිසහිතෝ කුමරු ඔටුන්නට හිමිකම් කියනු ඇත.

ජපානයේ අධිරාජ්‍ය ධූරය වැදගත් වන්නේ ඇයි?
පාරම්පරික උරුමය මත අඛණ්ඩව පවත්වාගෙන යන අධිරාජ්‍ය ධූරය මෙය වේ. විද්වතුන් පවසන්නේ, එයට ක්‍රිස්තු පූර්ව 600 දක්වා දිවෙන දීර්ඝ ඉතිහාසයක් හිමි බවය.
ජපානයේ අධිරාජ්‍යයෝ දේවත්වයෙහිලා සලකනු ලැබූහ. එහෙත්, දෙවන ලෝක සංග්‍රාමයේදී ජපානය පරාජයට පත්වීමෙන් පසු අකිහිතෝගේ පියා වූ එවකට අධිරාජ්‍යයා ලෙස ක්‍රියා කළ හිරොහිතෝ තමන්ගේ දේවත්වය අත්හරින බව ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළේය.
යුද්ධයෙන් පසුව හානියට පත් ජපානයේ ප්‍රතිරූපය යළි ගොඩ නැගීමට සහය වූයේ, අකිහිතෝ අධිරාජ්‍යයාය.








