විල්පත්තු අර්බුදය: "මුස්ලිම් වීම නිසා විරුද්ධ වෙනවා නම් අපි ඒකට විරුද්ධයි"

ඡායාරූප මූලාශ්‍රය, Google Map/BBC
විල්පත්තු රක්ෂිතයේ වන සංහාරයක් සිදු වෙමින් පවතින බවට මීට ඉහතදී ද වරින් වර විරෝධතා මතු වී ආවේය.
මෙවර එය හිටි හැටියේ යළිත් මතු වී ආවේ සමාජ මාධ්‍ය හරහා පළ වූ ඇතැම් ඡායාරූප සහ තොරතුරු හරහාය.
මේ අතර, සමාජ මාධ්‍යවල සංසරණය වූ ඇතැම් ඡායාරූප ව්‍යාජ ඒවා බව දැනටමත් තහවුරු වී තිබේ.
ඇත්ත වශයෙන් ම විල්පත්තුවේ වන සංහාරයක් සිදු වෙමින් පවතී ද? ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වෙමින් තිබේ.
විල්පත්තුව මුල් කර ගනිමින් සමාජ මාධ්‍ය හරහා පසුගිය සතියේදී දැඩි විරෝධතා පළ විය.
ඇතැම් පිරිස් ෆේස්බුක් ගිණුමේ සිය හඳුනා ගැනීමේ ඡායාරූපයට (Profile Picture) විල්පත්තුව සම්බන්ධයෙන් නිර්මාණය කරන ලද අදහස් සහිත වැකි භාවිත කර තිබිණි.
විල්පත්තු විරෝධය යට පවතින්නේ "ජාතිවාදය" බව ඇතැමෙක් පවසන අතර ඒ වෙනුවෙන් හඬ නගන සංවිධාන එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.
පාර්ලිමේන්තුවේදී හෙළි වූ දේ
මේ සම්බන්ධයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී ද අදහස් පළ විය.
එම විවාදයේදී අනාවරණය කෙරුණේ, 2012 වසරේදී එවක ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාව සිටි බැසිල් රාජපක්ෂගේ මැදිහත් වීමෙන් මෙම ඉඩම් නිදහස් කරනු ලැබූ බවය.

ඡායාරූප මූලාශ්‍රය, Basil Rajapaksa/FB
එහිදී කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් ප්‍රකාශ කළේ, ජනතාවට රජයෙන් හෙළිපෙහෙළි කළ ඉඩම් ලබා දුන්නා මිස ජනතාව කිසිදු ඉඩමක් හෙළිපෙහෙළි නොකළ බවය.
"ජනතාවට දුන්න ඉඩම් ප්‍රාදේශීය ලේකම් සුද්ද කරලා තමයි දුන්නේ. ජනතාව නෙවෙයි සුද්ද කළේ. ඒ වගේ සුද්ද කරල වැරදි කරල තියෙනවා නම් ඒ අයව හොයා ගන්න. මිනිස්සු කවුරුත් ඒ අයට දුන්නෙ අක්කර භාගය නම් ඒකෙන් පිට කවුරුත් ගියේ නැහැ. ඒක මට සහතිකයෙන් කියන්න පුළුවන්."
එහිදී කතානායක කරු ජයසූරිය ප්‍රකාශ කළේ, එම ඉඩම් සම්බන්ධයෙන් සැකසූ විගණකාධිපති වාර්තාව තමන් වෙත ලැබී ඇති අතර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවය.
එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ, "ජනතාව පදිංචි කිරීම, නීත්‍යනුකූලව ලබා දීම පිළිබඳව යම් ගැටලුවක් තියෙනව නම් ඒ ගැන අපට ප්‍රශ්නයක් නෑ," යනුවෙනි.
කෙසේ වෙතත්, කර්මාන්ත පුරයක් ඉදිකිරීම සඳහා රක්ෂිත ඉඩමක් ලබාගෙන තිබේ ද යනුවෙන් මහින්දානන්ද අලුත්ගමගේ විමසීය.
ඊට පිළිතුරු දුන් අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් සඳහන් කළේ, "මුල්ලිකුලම නෙවෙයි, කොණ්ඩච්චි කියලා මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මානයක් තියෙනවා. ඒ ගම්මානය ඇතුළේ අක්කර 25ක් ඉල්ලලා තියෙනවා. ඉල්ලලා අවුරුදු දෙකහමාරක් වෙනවා. තාම දීලා නෑ. ඒක දුන්නොත් තමයි අපිට කර්මාන්ත පුරයක් කරන්න පුළුවන්. සුද්ද කරලා නැහැ. ඒක සම්පූර්ණ බොරුවක්," යනුවෙනි.

ඡායාරූප මූලාශ්‍රය, GOOGLE MAP
මේ අතර, ප්‍රදේශ වාසීන්ට අයත්ව තිබූ ඉඩම් රක්ෂිත ලෙස නම් කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට 2012 වසර වන විට වන සංරක්ෂණ අමාත්‍යවරයාව සිටි අනුර ප්‍රියදර්ශන යාපා පිළිතුරු දුන්නේ මෙසේය.
"කවදාවත් අපි අනුන්ගේ ගම් යට කරලා රක්ෂිත හැදුවේ නැහැ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට තියෙනවා පිඹුරු. ඒ පිඹුරු මත තමයි ජීපීඑස් තාක්ෂණය පාවිච්චි කරලා මේක ගැහුවේ."
ඊට අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් පිළිතුරු දුන්නේ මෙසේය.
"2012 වසරේදී එහෙම කරනකොට කවුරුත් මිනිස්සු පදිංචි වෙලා හිටියෙ නෑ. ඔක්කොම හිටියෙ පුත්තලම කඳවුරුවල. අවුරුදු විස්සකින් විසි පහකින් පසුව ඔක්කොම ගස් වැවිල තමයි තිබුණේ. ඒකයි මම කිව්වේ සියලු ම ගම්මාන එතුමා ගැසට් කළා. ඒක තමයි ආපහු නිදහස් කරලා දුන්නේ. ඒ කමිටු වාර්තාව අනුව තමයි නිදහස් කරලා දුන්නේ."
පරිසර රාජ්‍ය අමාත්‍යවරයාගේ අදහස්
පරිසර අමාත්‍යංශය පවතින්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යටතේය.
මේ අතර ඒ සම්බන්ධයෙන් මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පැහැදිලි කිරීමක් කළේය.
ඔහු ප්‍රකාශ කළේ, 2012 වසරේ පැවති තත්ත්වය කිසිදු ආකාරයකින් වෙනසක් වී නොමැති අතර විල්පත්තු රක්ෂිතයට කිසිදු අනතුරක් සිදු වී නොමැති බවය.
ඔහු ඒ සම්බන්ධයෙන් දීර්ඝ විස්තර දැක්වීමක් කළේය.
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post, 1
මේ අතර, විල්පත්තු අභය භූමිය ආශ්‍රිතව කරන ලද සංචාර ආශ්‍රයෙන් ඇතැම් සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ද තොරතුරු ඉදිරිපත් කර තිබිණි.
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post, 2
"මේ රටේ ඉන්න ඕනෙ සිංහලයො විතර ද?" - පූජ්‍ය පොළොන්නරුවේ විජිතලංකාර හිමි
මේ අතර, විල්පත්තු රක්ෂිතයේ ගැටලුව සම්බන්ධයෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් සහ සිවිල් වැසියන් පිරිසක් ඉරිදා (මාර්තු 24) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ, විල්පත්තු රක්ෂිතයට කිසිදු හානියක් සිදු වී නොමැති බවය.
එහිදී පූජ්‍ය පොළොන්නරුවේ විජිතලංකාර හිමි අවධාරණය කළේ, විල්පත්තු වනයට කිසිඳු හානියක් සිදු වී නොමැති බවය.

"එදා තිබුණ ඉඩකඩම්වල ගස් කොළන් හැදුණා. අවුරුදු 30කට පස්සේ. මේව විනාශ කළේ නැහැ. හැබැයි ඒ උදවිය තමන්ගේ ඉඩකඩම් සුද්ද කර ගත්තා. ගස් කොළන් වැවිච්ච හිඟුරු ගාල සුද්ද කර ගත්තා. සුද්ද කරගෙන ඒ මිනිස්සු පදිංචි වුණා. එතකොට මං අහන්නේ, ඔය කෑගහන පිරිසට මං අහන්නේ, ඒ මුස්ලිම් ජනතාවට මේ රටේ ඉන්න බැරි ද? දෙමළ ජනතාවට මේ රටේ ඉන්න බැරි ද? සිංහලයො විතර ද මේ රටේ ඉන්න ඕන?"
මේ අතර, එම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්ව සිටි පූජ්‍ය සියඹලාගස්වැව විමලසාර හිමි පැවසුවේ, "මේ ප්‍රශ්නයට මුස්ලිම් වීම නිසා විරුද්ධ වෙනවා නම් අපි ඒකට විරුද්ධ වෙන" බවය.

"සිංහල, ද්‍රවිඩ ගම්මානවලත් මේ තත්ත්වය ම දකින්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත්තොත් රන්කෙත්ගම වගේ ගම්මාන, වවුනියාව දිස්ත්‍රික්කයේ. ඒවලටත් යනකොට තිබුණේ, අවුරුදු තිහක වනාන්තර. ඒවත් මෙහෙම ඩෝසර් කරලා තමයි නැවත පදිංචි කිරීම් ආරම්භ කරලා තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නයට මුස්ලිම් වීම නිසා විරුද්ධ වෙනවා නම් අපි ඒකට විරුද්ධ වෙනවා," පූජ්‍ය සියඹලාගස්වැව විමලසාර හිමියන් සඳහන් කළේය.








