"පඩි මදි, 2017 සිට ප්‍රසාද දීමනා නෑ" - වතු කම්කරුවෝ උද්ඝෝෂණයක

හලාවත වැවිලි සමාගමට අයත් වතු හැටකට ආසන්න ගණනක සේවකයන්ට 2017 වර්ෂයේ ප්‍රසාද දීමනා මේ දක්වා ගෙවා නොමැති අතර සිය වැටුප ද ප්‍රමාණවත් නොවන බවට සේවකයෝ චෝදනා කරති.

සිය වැටුප් වැඩිකරන මෙන් සහ වාර්ෂික ප්‍රසාද දීමනා ලබා දෙන ලෙස ඉල්ලමින් සේවකයන් හා කම්කරුවන් බදාදා (ජනවාරි 02) පෙරවරුවේ සිට පස්වරුව දක්වා හලාවත පිහිටි හලාවත වැවිලි සමාගමට අයත් ප්‍රධාන කාර්යාලය වටකරමින් විරෝධතාවයක නිරතව සිටියහ.

හලාවත වැවිලි සමාගමට අයත් වතු කීපයක සේවකයන් සදුඳා (දෙසැම්බර් 31) ආරම්භ කළ වැඩ වර්ජනයක් ද මේ දක්වා ක්‍රියාත්මක වේ.

තමන්ට මේ වනවිට ලැබෙන්නේ රුපියල් හයසීයක තරම් සොච්චම් වැටුපක් බවට ද සේවකයෝ චෝදනා කරති. මේ තත්වය තුල තමන්ට ජීවත්වීමේ ගැටළු මතුවී ඇති බව පවසන සේවකයන් දින කීපයක් ඇතුලත ප්‍රසාද දීමනා ලබාදෙන මෙන් සහ වැටුප් වැඩිකරන මෙන් පාලකයන්ගෙන් ඉල්ලා සිටිති.

අඟහරුවාදා දවස පුරා හලාවත වැවිලි සමාගම ඉදිරිපිට කම්කරුවන් කලහකාරී ලෙස හැසිරුණු අවස්ථා කීපයක්ද දක්නට ලැබිණි. වතු පාලනාධිකාරියට, දේශපාලකයන්ට, වෘත්තීය සමිති නායකයන්ට මෙන්ම කම්කරු නිලධාරීන්ට ද ඔවුන්ගේ විරෝධය එල්ල වී තිබේ.

මේ තොරතුරුද කියවන්න:

හලාවත වැවිලි සමාගමේ ප්‍රධාන ගේට්ටුව කඩාගෙන ප්‍රධාන කාර්යාලය තුලට පිවිසීමට අවස්ථා කීපයකදී කම්කරුවන් උත්සහ කළත් පොලිසිය මැදිහත්ව කම්කරුවන්ගේ එය වලක්වන ලදි.

හලාවත නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර එහි පැමිණ පාලනාධිකාරිය සමග සාකච්ඡාවකට සහභාගි වූ අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අවධාරණය කළේ ඉතා ඉක්මනින් මේ කම්කරුවන්ගේ ගැටළු විසදීමට පාලනාධිකාරිය පියවර ගත යුතු බවය. මේ තත්වයට පාලනාධිකාරිය මුළුමනින් වගකිවයුතු බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

කෙසේ වුවත් මෙවර හලාවත වැවිලි සමාගම අලාභ ලබා තිබෙන බැවින් මාස එකමාරක වැටුප මෙවර ලබා දීමට නොහැකි බව පැවසූ හලාවත වැවිලි සමාගමේ සාමාන්‍යධිකාරී ඒජීආර්එම්එම් රණවීර වැඩිදුරටත් කියා සිටියේ 2017 වසරේ ප්‍රසාද දීමනා පමණක් ගෙවීම සඳහා කැබිනට් අනුමැතියට යොමු කර ඇති බවය.

හලාවත වැවිලි සමාගම පාඩු ලැබීමට වගකිවයුතු වන්නේ පාලනාධිකාරිය බව මෙහිදී පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතා චෝදනා කරන ලදි. ඒ චෝදනා ප්‍රතික්ෂේප නොකළ පාලනාධිකාරිය, ඉක්මනින් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව සඳහන් කළේය.

දෙපාර්ශවය අතර සාකච්ඡාවේ ප්‍රතිඵල කම්කරුවන්ට දැනුම් දුන් නමුත් එම පොරොන්දු ලිඛිතව ලබා දෙන ලෙස ඉල්ලමින් බදාදා පස්වරුව වනතෙක් විරෝධතාව පැවැත්විණ. සිය ඉල්ලීම් ලැබෙන තෙක් වර්ජනය අත් නොහරින බවද කම්කරුවෝ අවධාරණය කරති.

තවත් තොරතුරු: