ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වතු කම්කරුවන්ට ‘දාහත් නැහැ සීයත් නැහැ’
ශ්‍රී ලංකාවේ වතු කම්කරු ප්‍රජාව බ්‍රිතාන්‍ය පාලන සමයේ පටන් අද දක්වා රටේ සෙසු දෛනික කම්කරුවන්ට සාපේක්ෂව අඩු වැටුපක් ලබන බව වතු ක්‍ෂේත්‍රයේ නිරත සමාජ පර්යේෂකයකු වන පී.මුත්තුලිංගම් පවසයි.
මැයි දිනයේ නිමිත්තෙන් බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට සහභාගී වූ සමාජ ක්‍රියාධරයා කියා සිටියේ නිදහසින් පසුව බලයට පත් ආණ්ඩුත් මැතිවරණ සමයේ දී වතු කම්කරු වැටුප් වැඩි කරන බවට ප්‍රතිඥා දුන්නත් ඒවා එපරිද්දෙන්ම ඉටු නොවූ බවයි.
රටේ පවතින තත්වය අනුව වතු කම්කරු වැටුප් ඊට සමපාතව වැඩි කිරීමේ එකඟතාවයක් 1992 න් පසුව වෘත්තීය සමිති නායකයන්ගේ ද සහභාගිත්වයෙන් ඇති කර ගනු ලැබුනත් එම කාල සීමා නිර්දේශයන් අනුව ඒවා ක්‍රියාත්මක නොවූ බවයි සමාජ පර්යේෂක පී.මුත්තුලිංගම් පෙන්වා දෙන්නේ.
පසුගිය ආණ්ඩුව සමයේ ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් වෘත්තීය සමිති වල මතය විමසීමකින් තොරව රුපියල් දහසකින් වැටුප් වැඩි කිරීමක් පෙරට තැබුවත් එයත් නොලැබුන බව පී.මුත්තුලිංගම් පවසයි.
'වර්තමාන ආණ්ඩුවත් පාර්ලිමේන්තුව තුළින් යෝජනාවක් ගෙනාවා වතු කම්කරුවකුගේ දෛනික වැටුපට රුපියල් සීයක් එකතු කරන බවට. ඒ අනුව පෞද්ගලික අංශයේ රුපියල් 2500 ක් වැටුප් වැඩි වීම වතු කම්කරුවන්ටත් ලැබෙන බවයි ආණ්ඩුව ප්‍රකාශ කළේ. ඒත් එම යෝජනාව ක්‍රියාත්මක වුනේ නැහැ' සමාජ පර්යේෂක පී.මුත්තුලිංගම් වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර 'දැනට දෙන වැටුපවත් ගෙවීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව' හාම්පුතුන් පවසන බවයි ඔහු කියා සිටියේ.
තේ වෙළෙඳපොළේ කඩා වැටීම අනුව උද්ගත වී ඇති එම අර්බුදය සඳහා විසඳුමක් ඉදිරිපත් කිරීම ආණ්ඩුවේ වගකීමක් වන බවත් පී.මුත්තුලිංගම් පෙන්වා දෙයි.
ඒ අතරවාරයේ වැට් බද්ද වැඩි කිරීමත් සමඟ භාණ්ඩ මිළ ඉහළ ගියොත් වතුකම්කරුවා 'කබලෙන් ලිපට වැටුන' තත්වයකට ඇද වැටෙනු ඇතැයි ඔහු අනතුරු ඇඟවීමක් ද කරයි.