ශ්‍රී ලංකාවට ශාක කොටස් ගෙන ඒමට රේගුව අවසර නොදෙන්නේ ඇයි?

"මේ මට අසභ්‍ය වචනවලින් බැනල එවපුවා, පළතුරු ඇල්ලුවා කියලා ගුවන්තොටුපළේ අපේ නිලධාරීන්" ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂක සුනිල් ජයරත්න තම දුරකතනය පෙන්වමින් පවසයි.

"අපිත් දන්නවා මේවා මානුෂීය දේවල්, දරුවට කන්න දෙන්න තමයි ගේන්නේ, හැබැයි මේ රටේ පරිසරය රැක ගන්න තියෙන නීති අපිට කඩන්න බැහැ" රේගු අධ්‍යක්ෂක සුනිල් ජයරත්න පසුගියදා කටුනායක ගුවන් තොටුපොළේදී ගුවන් මගියෙකු රැගෙන ආ පළතුරු ඉවත්කිරීම ගැන සමාජ මාධ්‍ය තුළ ඇති වූ අන්දෝලනය ගැන අදහස් දක්වමින් කියා සිටියේ ය.

මොකක් ද මේ නීතිය?

1999 අංක 35 දරන ශාක ආරක්ෂණ පනත ප්‍රකාරව පිටරට සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අයගේ ගමන් මලු තුළ ශාක හෝ ශාක ද්‍රව්‍ය, බීජ හෝ රෝපණ ද්‍රව්‍ය, නැවුම් පලතුරු,නැවුම් එළවළු රැගෙන ඒම සම්පුර්ණයෙන් ම තහනම් කර තිබේ. ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට ශාකවලට හානිකර කෘමින් සහ ලෙඩ රෝග රට තුළට පැමිණීම වැළැක්වීම මෙවැනි නීති පැනවීමේ අරමුණ ය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුව සජීවී ශාක, ස්වාභාවික මල්, නැවුම් පලතුරු, නැවුම් එළවළු. ස්වභාවික මල්වලින් කරන ලද සැරසිලි, පිදුරු, පස්, බීජ, හා වියළන ලද පැළෑටි වැනි කෘෂිකාර්මික ද්‍රව්‍ය රට තුළට ගෙන ඒමේදී නිරෝධායන සහතික ඇතුළු ආනයන බලපත්‍ර අවශ්‍ය වේ. එසේ නොමැතිව රට තුළට ගෙනෙන භාණ්ඩ අත්අඩංගුවට ගෙන විනාශ කිරීම සිදුවේ.

විශේෂයෙන් ම අලිපේර, බෙලි, අඹ, පැපොල්, දිවුල්, කෙසෙල්, අන්නාසි, දූරියන්, පේර වැනි පලතුරු ආනයනය කිරීම දැඩි ලෙස සීමා කර තිබෙන අතර ඇපල්, දොඩම්, පෙයාර්ස්, දෙළුම්, මිදි, නාරං, ප්ලම්ස්, චෙරි, නෙක්ටරින්, කිවි ෆ්‍රෘට් ආනයනය කළ හැක්කේ බලපත්‍ර සහිතව ය.

ශාක නිරෝධායන ඒකකයට අනුව ශ්‍රී ලංකාවට නැවුම් එළවළු හෝ නැවුම් පළතුරු ආනයනය කළ හැක්කේ නැව් මගින් පමණි.

"විෂබීජ, දිලීර වර්ග වර්ධනය වෙන්න පුළුවන් නිසි උෂ්ණත්වයක් නොමැතිව පළතුරු, එළවළු ලංකාවට ගෙනාවම, ඒ නිසා මේ නීති අත්‍යවශ්‍ය යි, ශ්‍රී ලංකාවේ නිරෝධායන ප්‍රමිතීන්ට අනුකූල ඒවා විතරයි රටට ගේන්න පුළුවන්" රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න පෙන්වා දුන්නේ ය.

ජාත්‍යන්තර නීති මොනවා ද?

ලෝකයේ සෑම රටක ම පාහේ එම රටවලට ආවේණික මෙවන් නීති පද්ධති පවතී. ඇතැම් රටවල් මෙම නීති දැඩි ලෙස ක්‍රියාත්මක කරද්දී තවත් රටවල් ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කරයි. බටහිර රටවල් මෙන්ම ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය වැනි රටවල් ද මෙම නීති තදින් ක්‍රියාත්මක කරන රටවල් ලෙස ප්‍රකටය. ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය වැනි රටවලට රැගෙන යන පාවහන් යුගලක මඩ පොදක් රැඳී තිබුණහොත් එයට ද එරට රේගු නිලධාරීන් තදින් ක්‍රියාත්මක වූ අවස්ථා තිබේ.

2002 වසරේ නවසීලන්තයේ ක්‍රිකට් සංචාරයකට ගිය ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් වන විරේන්දර් ෂෙවාග් සහ හර්බජන් සිං එරට රේගුවේ දඩ මුදලකට යටත් වූයේ, ඔවුන් නවසීලන්තයට ගෙනා ඔවුන්ගේ සපත්තුවල මඩ තැවරී තිබීම හේතුවෙනි.

මෙම රටවල් ආයුර්වේද ඖෂධ පවා රට තුළට ගෙන යාමට අවසර දීම ප්‍රතික්ෂේප කරයි. මෙලෙස කෘෂිකාර්මික ද්‍රව්‍ය පමණක් නොව සතුන් මෙන්ම මස් වර්ග ද බොහෝ රටවල් තම රට තුළට ගෙන ඒම තහනම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ද එම නීතිය ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාවේ මේ නීති නිසි ලෙස ක්‍රියාත්මක වෙනවා ද?

ශ්‍රී ලංකාවට විදේශ රටවලින් ගෙන එන මෙවැනි තහනම් ද්‍රව්‍ය රේගුව භාරයට ගැනීමේදී අපට නිතර ඇසෙන මැසිවිල්ලක් වන්නේ, "කොච්චර අය මේවා කිසි ප්‍රශ්නයක් නැතුව ගේනව ද?" යන ප්‍රකාශයයි.

මෑතකදී ගුවන්තොටුපළේ මගීයෙකුගේ බෑගයෙන් පලතුරු ඉවත්කිරීම ගැන සිදුවූ ආන්දෝලනයේදී සමාජ මාධ්‍ය හරහා ඇතැමුන් ප්‍රශ්න කළේ, ගමන් මලු තුළ මෙවන් තහනම් ද්‍රව්‍ය කොපමණ මිනිසුන් රැගෙන එනවා ද යන්නය.

"සියලුම බහාලුම් අපිට පරීක්ෂා කරන්න බැහැ, සියලුම මගීන් පරික්ෂා කරන්නත් බැහැ, 90 දශකයේ අපි සියලු මගීන්, ගමන් මලු පරීක්ෂා කළා, අද කරන්නේ මගීන්ට පහසුකම් සලසන්න කොළ චැනල්වලින් මගීන්ට යන්න ඉඩ සලස්වා දීම. මගීන් 99% එහෙම පිටවෙලා යන කොට මේ දේවල් එළියට යන්න පුළුවන්"

"ඔය එක සිද්ධිය යි, සවුදියෙන් එන සිය දෙනෙක් පළතුරු ගෙඩි දහය ගානේ අරන් යන්න පුළුවන්, මේ සියලු දේ අපිට නවත්වන්න බැහැ. හැබැයි නීතිරීති ක්‍රියාත්මක කරන්න අපි උත්සහ කරනවා, අපිට නෙත ගැටුණොත් ඒක නිදහස් කරන්න අපිට බැහැ" රේගුවේ මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂක සුනිල් ජයරත්න මෙම නීති ශ්‍රී ලංකාවේ නිසි ලෙස ක්‍රියාත්මක නොවීම ගැන නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් පැවසුවේ ය.

රට තුළට සත්වයන් මෙන්ම සුරතල් සතුන් ගෙන ඒමේදී ද නීරෝධායන සහතික ලබා ගැනීම අනිවාර්ය කර තිබේ. මෑතකදී කුවේට් ජාතික යුවළක් ගුවන්තොටුපළේ රේගු නිලධාරීන් සමග ගැටුමක් ඇති කර ගත්තේ ද තම සුරතල් බල්ලා ශ්‍රී ලංකාවට රැගෙන ඒමට අවශ්‍ය නිරෝධායන සහතික සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මුල් කර ගනිමිනි.

මෑතකදී ගමන් මල්ලක සඟවා ශ්‍රී ලංකාවට ගෙන ඒමට උත්සහ කළ මසුන් තොගයක් මෙන්ම පරිගණකයක් තුළ සඟවා ගෙන ඒමට උත්සහ කළ කෘමි විශේෂයක් සිය භාරයට ගැනීමට රේගුවට හැකිව තිබේ.

මෙලෙස කටුනායක ගුවන් තොටුපොළේදී රේගුව භාරයට ගන්නා ද්‍රව්‍ය, ශාක සහ සත්ව නීරෝධායන නිලධාරීන්ට යොමු කර විනාශ කිරීම සිදු කරන බව ඔහු පැවසීය.

ශ්‍රී ලංකා රේගුව සිය භාරයට ගත් විවිධ ද්‍රව්‍ය පසුගිය කාලයේ ප්‍රසිද්ධියේ විනාශ කර දමනු ලැබූ අවස්ථා තිබිණි. එහි කාගේත් අවධානයට ලක්වූයේ, ප්‍රසිද්ධ සන්නාම නමින් ගෙන් වූ ව්‍යාජ භාණ්ඩ, පාසල් උපකරණ, සෙල්ලම් බඩු, ජංගම දුරකතන අමතර කොටස් සහ වාහන අමතර කොටස් විනාශ කිරීම ය.

'මෙවැනි භාණ්ඩ විනාශ නොකර නැවත භාවිතයට ගත නොහැකි මන්දැයි' නැගෙන ප්‍රශ්නයට රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඒවා අධික විෂ සහිත ප්ලාස්ටික් යොදාගෙන හදපු පිළිකා කාරක භාණ්ඩ බවය.

රේගුව එලෙස විනාශ කළ ද්‍රව්‍යවලට බොහෝ සමාන ද්‍රව්‍ය අදටත් වෙළඳ පොළේ නිතර දක්නට ලැබේ. මේවා රට තුළට එන්නේ සහ එමින් තිබින්නේ කෙසේදැයි යන්න බීබීසී සිංහල සේවය රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වෙත මෙම සංවාදයේදී යොමු කළ තවත් ප්‍රශ්නයකි.

"අපි පුළුවන් තරම් උත්සහ කරනවා මේවා පාලනය කරන්න, නමුත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ 100%ක් භාණ්ඩ පරීක්ෂා කරන්න බැහැ, එහෙම කළොත් මුළු ලෝකෙටම කන්ටේනර් දෙකක් වත් යවන්න බැහැ, ගුවන් යානා දෙකක් වත් එන්න හම්බෙන්නේ නැහැ, ඔබ කිව්වා හරි බාල බඩු පිරිලා. මේවට තව නීති හැදෙන්න ඕන, විශේෂයෙන්ම ප්ලාස්ටික් වර්ග පුදුමාකාර විෂ සහිත දේවල් එනවා මේ රටට, බලධාරීන් එක්ක මේවා ගැන අපි සකච්ඡා කරනවා. යම් යම් සීමාවන් පනවන්න" ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂක සුනිල් ජයරත්න පැවසුවේ ය.

තවත් කියවන්න.