ලෝක බැංකුව: දේශගුණික විපර්යාසවලින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ ජීවන මට්ටමට "දැඩි බලපෑමක්"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images/ ISHARA S. KODIKARA
ක්‍රම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින උෂ්ණත්වය සහ වර්ෂාපතන රටාවන්ගේ විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට සහ ජීවන මට්ටම්වලට දැඩි බලපෑම් එල්ල විය හැකි බව ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක් මගින් අනාවරණය කර තිබේ.
දකුණු ආසියාව තුළ දේශගුණික විපර්යාසවලින් වැඩි ම බලපෑම් එල්ල වන ප්‍රදේශ සම්බන්ධයෙන් සකස් කළ වාර්තාවක මෙම තොරතුරු ඇතුළත් වේ. එම වාර්තාව අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය වැඩි තර්ජනයකට ලක්ව සිටින රටවල් වේ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කර ඇති වාර්තාවේ දැක්වෙන්නේ, 2050 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කින් පමණ ඉහළ යා හැකි බවය.
දේශගුණික විපර්යාසවලට හේතු මොනවා ද?
ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසවලට නිරන්තරයෙන් ලක්වීමට ප්‍රධාන කරුණු දෙකක් බලපාන බව එම වාර්තාවේ දැක්වේ.
1. දේශගුණික තත්ත්වයන් මත සිදුවන විපර්යාස
ශ්‍රී ලංකාව මුහුදෙන් වට වී ඇති කුඩා රාජ්‍යයක් වන හෙයින් නිරන්තරයෙන් සුළි කුණාටුවලට ලක් විය හැකි අතර මුහුදු ජල මට්ටම නිරන්තරයෙන් ඉහළ යා හැකි ය. එමගින්, වර්ෂාපතන රටාවල වෙනස්කම් සිදුවීමේ අවදානමක් පවතී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2. කාබන් මුදා හැරීම මත සිදුවන විපර්යාස
පරිසරයට මුදා හැරෙන කාබන් ප්‍රතිශතය පාලනය කරගත නොහැකි වුවහොත් ඉදිරියේදී පරිසර උෂ්ණත්වය අධික ලෙස ඉහළ යනු ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි.
වැඩිම බලපෑම
ඉන් වැඩිම බලපෑම එල්ල විය හැක්කේ, උතුරු සහ වයඹ පළාත්වලට ය. මේ වන විට ත් එම පළාත්වල වෙසෙන ජනතාව කාලගුණික විපර්යාස, එනම් අඩු වර්ෂාපතනය සහ අධික උෂ්ණත්වය යන භයානක කාලගුණ තත්ත්වයන්ට මුහුණ දී සිටිති. යුදමය ක්‍රියා හේතුවෙන් අවතැන්වූවන් සහ වැන්දඹුවන් බවට පත්වූ දිළිඳු කාන්තාවන් විශාල පිරිසක් වෙසෙන උතුරු පළාත තුළ දරිද්‍රතාව සහ ජීවන මට්ටමේ පහළ යාමක් මේ වන විට ත් දක්නට ලැබේ.
මීට අමතරව, උතුරු මැද සහ බස්නාහිර පළාත් ද මෙම තර්ජනයට ලක්ව තිබේ. උෂ්ණත්වය ඉහළ යාම, වර්ෂාපතන රටා වෙනස් වීම යන කරුණු මෙන් ම කාබන් මුදා හැරීම නිසා ඉදිරියේදී මෙම පළාත්වල ජීවන මට්ටම 8%කින් පමණ පහත වැටෙනු ඇති බවට ලෝක බැංකුව අනතුරු අඟවයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images/ ISHARA S. KODIKARA
මේ තොරතුරුද දැනගන්න:
දිස්ත්‍රික්ක වශයෙන් විය හැකි බලපෑම:
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 10ක් මෙහිදී තර්ජනයට ලක්ව ඇති බව අදාළ වාර්තාවේ දැක්වේ. ඉන් වැඩි ම බලපෑම ඇති දිස්ත්‍රික්ක වන්නේ, යාපනය, පුත්තලම, මන්නාරම සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක වේ.
මීට අමතරව, කුරුණෑගල, ත්‍රිකුණාමලය, ගම්පහ, කෑගල්ල යන දිස්ත්‍රික්ක ද දැඩි ලෙස තර්ජනයට ලක්ව ඇත.
දේශගුණික විපර්යාස ආර්ථිකයට සහ ජීවන මට්ටමට බලපාන්නේ කෙසේ ද?
උෂ්ණත්වය ඉහළ යාම සහ වර්ෂාපතන රටා වෙනස් වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට දැඩි බලපෑම් එල්ල විය හැකි ය. විශේෂයෙන්, අස්වනු හානි වීම, නිසි කලට වගා කළ නොහැකි වීම, ජල ගැලීම් ආදියෙන් අස්වනු විනාශ වීම යන කරුණු නිසා දළ දේශීය නිෂ්පාදිතය පහළ වැටෙනු ඇත.
ඊට අමතරව, විවිධ ලෙඩ රෝග සහ ආසාදන මෙන් ම මරණ වැඩි වීම මත ජීවන මට්ටම තවදුරටත් පහළ යා හැකි බවට අනතුරු ඇඟවීම් කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙම තත්ත්වය හේතුවෙන් අධ්‍යාපන කටයුතුවලට ද බලපෑම් එල්ල විය හැකි බව එම වාර්තාවේ සඳහන් ය.
එම වාර්තාව සකස් කළ ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපය භාර ප්‍රධාන ආර්ථික විශේෂඥයෙකු වන මුතුකුමාර මනී පවසන්නේ, දේශගුණික විපර්යාසයන්හි තර්ජනය හේතුවෙන්ම ඒක පුද්ගල පරිභෝජන මට්ටම පහළ ගොස් දරිද්‍රතාව හා ආදායම් විෂමතා ඉහළ යාමේ අවදානමක් පවතින බව ය.
ඔහු පෙන්වා දෙන්නේ, දේශගුණික විපර්යාසවලින් වැඩි ම බලපෑම් එල්ල විය හැකි ප්‍රදේශ හඳුනාගෙන ඊට නිසි පිළියම් යෙදීම මගින් හානි අවම කර ගත හැකි වනු ඇති බව ය.
තර්ජනයට මුහුණ දෙන්න සූදානම් ද?
ලෝක බැංකු වාර්තාව අනුව ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බලපෑම් සම්බන්ධයෙන් රජය දැනුවත් ද? බීබීසී සිංහල සේවය මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයෙන් විමසීමක් කළේය.
එම කාර්යාලයේ දේශගුණික විපර්යාස පිළිබඳ සහකාර අධ්‍යක්ෂිකා දක්ෂිණී පෙරේරා පැවසුවේ, දේශගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාවට වන බලපෑම් පිළිබඳව පූර්ණ වශයෙන් අධ්‍යයනයක් කර තිබෙන බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඒ අනුව, උෂ්ණත්වය ඉහළ යාම නිසා ඵලදාව අඩු වීමේ අවදානමක් පවතින බව ඇය පෙන්වා දුන්නා ය.
ඊට අමතරව, ජලගැලීම්වලින් සිදුවන අස්වනු හානි අවම කර ගැනීම සඳහා ද අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටින බව ඇය ප්‍රකාශ කළා ය.
මේ අනුව, ඉදිරියේදී අතීතයේ සිට පැවති වගා කාලසටහන්, වගා ක්‍රම මෙන් ම වගා කෙරෙන බෝග ද වෙනස් කිරීමට පියවර ගනිමින් සිටින බව දක්ෂිණී පෙරේරා බීබීසී සිංහල සේවයට පැවසීය.
ඇය පැවසුවේ, ජලගැලීම්වලට මෙන් ම අධික උෂ්ණත්වයට ද ඔරොත්තු දිය හැකි වී ප්‍රභේද හඳුන්වා දීමට ත්, ජල හානිය අවම කරගෙන වගා කටයුතු සිදු කිරීම සඳහා දැනුවත් කිරීමට ත් පියවර ගන්නා බවය.
මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය සමග සම්බන්ධීකරණ කටයුතු සිදුවන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
තවත් තොරතුරු:








