ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ දුම්වැටි හා දුම්කොළ ආශ්‍රිත නිපැයුම් අලෙවිය අඩුවෙලා ද?
ශ්‍රී ලංකාවේ නගර සහ ගම් ද ඇතුළත් මහජන සෞඛ්‍ය පරීක්ෂණ කොට්ඨාස 143ක දුම්වැටි සහ දුම්කොළ නිෂ්පාදන අලෙවිය මුළුමණින් ම නැවතී ඇති බව වාර්තාවේ.
වෙළෙඳසල් හිමියන් දැනුවත් කිරීම හරහා මේ තත්ත්වය ළඟා කරගැනීමට හැකි වුව ද, විවධ හේතු මත එය පසුගිය වසරට සාපේක්ෂව යම් පසුබෑමක් පෙන්වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
පසුගිය වසර තුළ දුම්වැටි හා දුම්කොළ නිෂ්පාදන අලෙවිය නොකෙරුණු කොට්ඨාස ප්‍රමාණය දැක්වුණේ 217 ක් ලෙසිනි.
කෙසේවෙතත්, දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන අලෙවිය හේතුවෙන් රටක් ලෙස ශ්‍රී ලංකාව පත්වී ඇති තත්ත්වය කොට්ඨාස බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මාර්ගයෙන් වෙළෙඳ ප්‍රජාවට අවබෝධකර දීමෙන් මෙම තත්ත්වය උදාකරගත් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ දුම්පානය පිළිබඳ තත්ත්වය
ලෝක සෞඛ්‍ය සංවිධානය 2015 වසරේ නිකුත් කළ දත්ත අනුව ශ්‍රී ලංකාවේ ජනයාගෙන් 15% ක් දුම්පානය කරති. ඊට පිරිමි 29.4% ක් ද කාන්තාවන් 0.1% ක් ද ඇතුළත් වනබව පෙන්නුම් කරයි.
සමීක්ෂණය කළ වසරේදී දුම්පානයෙහි යෙදුණු පුද්ගලයන්ගෙන් හරි අඩක් සමීක්ෂණයට ආසන්න මාස 12 ක කාලය තුළදී දුම්පානය අත්හැරීමට උත්සාහ කර ඇති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබිණි.
2015 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවට අනුව තමන් දුම්පානය නොකරන නමුත්, ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් තම සේවා ස්ථානයේදී දුම්පානයට නිරාවරනය වන අතර, තම නිවෙස්වලදී එසේ නිරාවරනය වන පුද්ගල ප්‍රමාණය ද වැඩිහිටියන් 4 දෙනෙකුගෙන් එක් අයෙකි.
දුම්පානයට නිරාවරණය වීම
මේ අතර, දුම් පානය නොකරන පිරිමින් සහ කාන්තාවන් පිරිසක් ඇසුරින් ඇමෙරිකානු පිළිකා සංගමය (American Cancer Society) කරන ලද අධ්‍යයන වාර්තාවකින් කියවෙන්නේ, තමන් දුම් පානය නොකරන නමුත්, ළමා වයසේදී දුම් පානය කළ දෙමාපිය ඇසුරේ වැඩුණු පුද්ගලයන් භයානක පෙනහලු රෝග හේතුවෙන් මියයාමේ ඉහළ අවදානමක් ඇති බව ය.
වැඩිදුර තොරතුරු සඳහා කියවන්න:
ළමා අවධියේ දුම් ආඝ්‍රාණය වීම හේතුවෙන්, "මියයන සෑම පුද්ගලයන් ලක්ෂයකට දුම් පානය නොකරන්නන්ගේ මරණ හතක් වැනි ප්‍රමාණයක් එක්වන බවක්" පෙනෙන්නේයැයි එහිදී පර්යේෂකයෝ පෙන්වා දෙති.
"චර්යාත්මක වෙනස"
"ජාතික මත්ද්‍රව්‍ය නිවාරන අධිකාරිය මගින් ලෙස පුහුණු කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මාර්ගයෙන්, චර්යාත්මක වෙනසක් ඇතිකරමින් තමයි අපට (දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන) විකිණීම යම් තරමකින් නවතාගැනීමට හැකිවෙලා තියෙන්නේ," යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ බීබීසී සිංහල සේවයට පැවසීය.
පසුබෑම
පසුගිය වසරට සාපේක්ෂව සිදුවී ඇති පසුබෑම පිළිබඳව පැහැදිලි කළ සභාපතිවරයා,"අපි දුම්වැටි අලෙවි නොකරන බවට තහවුරු කරගත් ප්‍රදේශ, දුම්වැටි අලෙවි කරන නගර බවට පත් කිරීමට ඔවුන් (දුම්වැටි නිෂ්පාදකයින්) සටනක් දෙනවා. ඒ සටනේ ඇතැම් ස්ථානවල අපි පරාජය වෙනවා," යනුවෙන් පෙන්වාදුන්නේය.
"අපි දැනට මේ සංඛ්‍යාව වසර කීපයක් හෝ පවත්වාගෙන යාමට කටයුතු කරනවා,"
කෙසේවුවද, 2016 සහ 2017 කාලය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) සකස් කරන ලද වාර්තාවලින් පෙන්නුම් කෙරුනේ දුම්පානය සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ ඇති නැඹුරුවේ අඩුවකි.
සබැඳි පුවත්: