ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දකුණු කොරියාවේ රැකියා සඳහා "වංචනිකයන්ට මුදල් දෙන්න එපා"
කොරියානු රැකියා පෙන්වා මුදල් එක් කරන ජාවාරම්කරුවන් පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.
දකුණු කොරියාවේ රැකියා සදහා බඳවා ගැනීම් සිදුකරන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් පමණක් බව එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
එබැවින් කොරියානු රැකියා ලබාදෙන බව පවසන වංචනිකයින්ට හසුවී ඔවුන්ට මුදල් ලබාදීමෙන් වළකින ලෙස එම කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.
එවැනි වංචනිකයින් සම්බන්ධයෙන් බලධාරීන්ගේ දැඩි අවධානය යොමුවී ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් ලැබී ඇති බව ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
දකුණු කොරියාවේ රැකියා සදහා බදවාගැනීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි සිදුකරනු ලැබේ.
අදාළ රැකියා අවස්ථා සදහා තෝරා ගැනීමේදී දේශපාලනික වශයෙන් හෝ වෙනත් බාහිර පුද්ගලයෙකුට කිසිදු බලපෑමක් සිදුකළ නොහැකි බව පවසන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කොරියානු රැකියා පෙර විගමණික පුහුණුව ලබාදෙනු ලබන්නේ එම කාර්යාංශය විසින් තෝරාගනු ලබන සුදුසුකම්ලත් පුහුණු උපදේශකයින් විසින් යයි සඳහන් කරයි.
කොරියානු රැකියා අපේක්ෂිතයින්ට භාෂා පුහුණුව ලබාදීම සඳහා කිසිදු ආයතනයක් හෝ පුද්ගලයෙකු නම්කර නොමැති අතර වගකීම් භාරදී නොමැති බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එබැවින් කොරියානු රැකියා ලබාදෙන බව පවසන වංචනික පුද්ගලයන්ට හසුනොවන ලෙසත්, ඔවුන්ට මුදල් ලබාදීමෙන් වළකින ලෙසත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කොරියානු රැකියා අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටී.