ඩී. ඒ. රාජපක්ෂ කෞතුකාගාරය : ගෝඨාභය FCID වෙත

තම දෙමාපියන් වෙනුවෙන් වීරකැටිය, මැදමුලන ප්‍රදේශයේ ඉදිකළ ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ගොඩනැගීමේදී රුපියල් ලක්ෂ 900කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව පිටව ගියේය.
පොදු දේපළ පනත යටතේ අදාළ චෝදනා සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට පසුගිය නොවැම්බර් මාසයේ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සුදනම්වූ අතර එම අවස්ථාවේ අදාළ චෝදනා සම්බන්ධයෙන් පොදූ දේපොළ පනත යටතේ තමන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම වළකාලමින් අභියාචනාධිකරණය මගින් අතුරු තහනම් නියෝගයක් ලබාගැනීමට ගෝඨාභය රාජපක්ෂට හැකි විය.
අභියාචනාධිකරණය එම නඩුව පසුගිය ජුනි 14 වෙනිදා කැඳවු අතර එහිදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් දැනට පනවා තිබෙන තහනම් නියෝගය ඉදිරියටත් බලාත්මක කිරීමට විනිසුරුවරුන් තීරණය කළේ.
එදින පොලීසිය කළ ඉල්ලීමක් සළකා බලමින් ඉහත කී චෝදනා සම්බන්ධයෙන් ජුනි 25 වෙනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවට අධිකරණය ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී තිබිණි.
ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ආරක්ෂක ලේකම්වරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත සඳුදා පැමිණියේ ඒ අනුවය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පියාවන ඩී.ඒ. රාජපක්ෂගේ 47 වන ගුණ සමරුවට සමගාමීව 2014 වසරේ නොවැම්බර් 6 වෙනිදා මෙම කෞතුකාගාරය විවෘත කෙරුණු අතර ඒ සදහා ආරක්ෂක අමාත්‍යංශය යටතේ ඇති ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 900 ක් පමණ වැයකිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුවේ.
කෞතුකාගාරය ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබුවේ ඩී. ඒ. රාජපක්ෂ පදනම හා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ මණ්ඩලය සමග ඇති කරගත් නීත්‍යානුකූල එකඟතාවය මත බවත් මෙය සිවිල් ගණුදෙනුවක් බවත් පවසමින් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන් චෝදනා ප්‍රතික්ෂේප කරමින් අධිකරණයට කරුණු දක්වා තිබුණි.
මෙම චෝදනාවට අමතරව මිග් යානා ගනුදෙනුව, ඇවන්ගාඩ් සිද්ධිය සහ ඇපලෝ රෝහලේ කොටස් මිලදී ගැනීමේ දී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවලට එරෙහිව ක්‍රියාත්මකවන පරීක්ෂණවලින්ද ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබාදී තිබේ.
එලෙස පනවා තිබු නඩුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු හතර දෙනෙකු ඉවත්වීම සම්බන්ධයෙන් පසුගියදා දැඩි කතාබහක්ද ඇතිවිය.









