මුස්ලිම්-විරෝධී ප්‍රහාර: දිලුම් අමුණුගම ත්‍රස්ත මර්ධන ඒකකයට කැඳවයි

තෙල්දෙණිය ගැටුමේ දේපොළ විනාශය
ඡායාරූප ශීර්ෂ වැකිය, තෙල්දෙණිය ගැටුමේ දේපොළ විනාශය

පසුගියදා මහනුවර හටගත් මුස්ලිම් විරෝධී ප්‍රහාර පිළිබඳ ප්‍රශ්න කිරීම පිණිස ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී දිලුම් අමුණුගම පොලිස් ත්‍රස්ත මර්ධන කොට්ටාසය වෙත කැඳවා තිබේ.

ඔහුට අඟහරුවාදා උදෑසන 10.30ට පොලිස් ත්‍රස්ත මර්ධන කොට්ටාසය වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ බීබීසි සිංහල සේවයට පැවසීය.

ඒ අනුව දිලුම් අමුණුගම මන්ත්‍රීවරයා සමග ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමකුත් අඟහරුවාදා පොලිස් ත්‍රස්ත මර්ධන කොට්ටාසය වෙත පැමිණෙන බව ද ඔහු සඳහන් කළේය.

මාර්තු මාසයේ මුල භාගයේ මහනුවර හටගත් මුස්ලිම් විරෝධී ප්‍රහාර හේතුවෙන් කිහිප දෙනෙකු මරුමුවට පත්ව දේපලවලට දැඩි හානි සිදුවිය.

මහනුවර දිස්ත්‍රික්කයේ ආරක්ෂාවට යොදා ඇති පොලිස් කොමාන්ඩෝ භටයන්

ප්‍රහාර සිදුවන අවස්ථාවේම ආණ්ඩුව ප්‍රකාශ කළේ ප්‍රහාර වලට සම්බන්ධ විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ගැන ද පරීක්ෂණ කණ්ඩායම්වලට තොරතුරු ලැබී ඇති බවය.

තවත් කියවන්න:

ආණ්ඩුව අදාල මන්ත්‍රීවරයාගේ නම හෙළි නොකළ නමුත් මහනුවර ගැටුම් වලට සම්බන්ධ බවට සැකකෙරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රදේශිය සභා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අත්අඩංගුවට පත්විය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ අවස්ථාවේදී ප්‍රකාශ කළේ, තෙල්දෙණිය සහ දිගන ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක පැතිරගිය මුස්ලිම් විරෝධී ජාතිවාදී ප්‍රහාර සම්බන්ධයෙන් ආණ්ඩුව විරුද්ධ පක්ෂයට චෝදනා කරන්නේ "කුලප්පු කිරීම" සඳහා බවය.

එම ගැටුම් මැඩ පැවැත්වීමේ වගකීම පොලිසිය නොව ආණ්ඩුව භාරගත යුතු බවත් ඔහු ප්‍රකාශ කර තිබුණි.

මේ අතර මහනුවර ප්‍රහාර සඳහා වගකිවයුතු බවට සැකකරමින් අත්අඩංගුවට ගත් මහසෝන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 34 දෙනෙකු ලබන මැයි 28 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සඳුදා අධිකරණය නියෝග කළේය.

තවත් ලිපි: