සමාජ ජාල: "ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස උතුරා යනවා"

වත්මන් ආණ්ඩුවේ පාලනය යටතේ මාධ්‍ය නිදහස "උතුරා යමින් තිබෙන" බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

පසුගියදා මහනුවර ඇතැම් ප්‍රදේශවල මුස්ලිම් විරෝධී ප්‍රහාර පැතිරයාම වැළැක්වීම පිණිස සමාජ මාධ්‍ය ජාල තහනම උපකාරී වූ බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ බව කියා සිටියේ පසුගිය සතියේ සිය ලන්ඩන් නුවර සංචාරය අතරවාරයේ බීබීසී සිංහල සේවය සමග දීර්ඝ සාකච්ඡාවකට එක්වෙමිනි.

මහනුවර ප්‍රදේශයේ ප්‍රහාර වැළැක්වීම පිණිස ඇඳිරි නීතිය සහ හදිසි නීතිය ද යොදාගත් අතර, ත්‍රිවිධ හමුදාව ද ප්‍රදේශයට පිටත් කොට යවා බොහෝ පියවර ගත් බව ඔහු පෙන්වා දුන්නේය.

"සමාජ මාධ්‍ය වසා දැම්මා"

"සියලු දෙනාගේ විරෝධය මධ්‍යයේ මගේ තනි වුවමනාවට මම සමාජ වෙබ් අඩවි සම්පූර්ණයෙන්ම වහල දැම්ම. ඒවා නිසා තමයි අපිට ඒක විසඳගන්න පුළුවන් වුනේ," යනුවෙන් ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

"ඊට පස්සේ අන්තර්ජාතික වශයෙන් අපිට බොහොම පැසසුම් කළා මේ කරපු වැඩේ හරි, මේකෙන් තමා මේක පාලනය කරගන්න පුළුවන් වුනේ කියල. අන්තර්ජාතික සංවිධාන කිහිපයක් කිවුව ලංකාව කරපු මේ වැඩේ මියන්මාරයේ ඔය සිද්ධිය, දෙක ඇතිවෙච්ච වෙලාවේ මියන්මාරයේ කළා නම්, මියන්මාරයේ මෙහෙම තත්වයක් නැහැ කියල."

එය මාධ්‍ය වාරණයක් ලෙසින් විග්‍රහ කරන්නේ "එක්කෙනෙක්, දෙන්නෙක් පමණක්" බව පවසන ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ සමාජ මාධ්‍ය ජාල තහනම ගැන පාසල් යන දරුවන් සිටින දෙමාපියන් පවා තමන්ට ප්‍රශංසා කළ බවය.

ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ලබාදීම පිළිබඳ විමසු අවස්ථාවේ ඔහු කියා සිටියේ, "සුළු ජාතීන්, මහ ජාතීන්" ලෙසින් ජනතාව වර්ග කිරීම ගැන තමන් විරුද්ධ බවය. ශ්‍රී ලංකාවේ වාසය කරන සියලු දෙනා "ශ්‍රී ලාංකිකයන්" ලෙස හැඟීමකින් කටයුතු කරනු දැකීම සිය අභිලාශය බව ද ඔහු පැවසීය.

තවත් කියවන්න: