ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අගමැති නොගියොත් සම්මුති ආණ්ඩුව ඉවරයි - ලක්ෂ්මන් යාපා
එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති සම්මුතිවාදී ආණ්ඩුව රැක ගැනීමටනම් අගමැති රනිල් වික්‍රමසිංහ විශ්වාසභංග යෝජනාවට පෙර ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.
අද (මාර්තු 30) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම ස්ථාවරය ප්‍රකාශයට පත් කරන ලද්දේ ලක්ෂ්මන් යාපා අබේවර්ධන රාජ්‍ය ඇමතිවරයා විසිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදු ලෙසකින් දැනට ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවේ දී අගමැතිවරයාට සහයෝගය නොදෙන බව අවධාරණය කළ අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සම්මුතිවාදී ආණ්ඩුව රැකගැනීමට නම් අගමැතිවරයා ඉල්ලා අස්වීම හැර වෙන විකල්පයක් නොමැති බව කියා සිටියේය.
"ජනතාව සහ රට වෙනුවෙන් සම්මුතිවාදී ආණ්ඩුවක් ආරක්ෂාකර ගන්න අවශ්‍ය නම්, අගමැතිතුමා ඒ තීන්දුව ගන්න. එතකොට අප්‍රියෙල් හතරවෙනිදාට මේ ප්‍රශ්නය මතු වෙන්නේ නැහැ" ඇමතිවරයා සඳහන් කළේය.
"අගමැතිතුමා එම පියවර ගත්තේ නැත්නම් ලබන හතර වෙනිදා රාත්‍රි නවය වෙනකොට මේ රටේ සම්මුතිවාදී ආණ්ඩුවක් නැහැ"අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන අවධාරණයෙන් කියා සිටියේය.
ඊයේ (මාර්තු 29) රාත්‍රියේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර සිදු වූ හමුවක දී අගමැතිවරයා හා ජනාධිපතිවරයා අතර සුබවාදී එකඟතාවක් ඇතිවූ බවට ඇතැම් මාධ්‍ය වාර්තා පළ වී ඇතත්, එවැනි කිසිදු එකඟතාවක් ඇතිවී නොමැති බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා පවසයි.
අගමැතිට එරෙහි විශ්වාසභංගය පරාජය කිරීමට ජනාධිපතිවරයාගේ සහයෝගය ලැබෙන බවට පළ වන වාර්තා අසත්‍ය බව ඇමතිවරයා අවධාරණය කරයි.
එහෙත්, ඒකාබද්ධ විපක්ෂය විසින් අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත්කර ඇති විශ්වාස භංග යෝජනාවට තමා තරයේ විරුද්ධ බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවක දී සඳහන් කළේය.
එජාප ස්ථාවරය
විශ්වාසභංග යෝජනාව පරාජය කර තනි එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් සැදීමට තම පාර්ශ්වය සුදානම් බව මේ අතර එක්සත් ජාතික පක්ෂය පවසයි.
එසේම විශ්වාසභංග යෝජනාවට සහයෝගය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් ආණ්ඩුවේ අමාත්‍ය තනතුරු වලින් ඉවත්විය යුතු බව බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු කියා සිටියේය.
තමාගේ පුද්ගලික කැමැත්ත "තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් සැදීම" බව සඳහන් කළ හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා බහුතරයක් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ද මතය එය බවත් පෙන්වා දුන්නේය.
සබැඳි පුවත්;