ඔස්ට්‍රේලියාවේ සිට පැය දාහතකින් කෙළින්ම ලන්ඩනයට

ඔස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය අතර අතරමඟ නැවතුමක් නොමැති පළමු ඓතිහාසික ගුවන් ගමන දෙස ගුවන් ගමන්ලෝලීන් ඇතුළු සමස්ත ලෝකයේ අවධානය යොමු වෙමින් පවතී.

ඔස්ට්‍රේලියාවේ 'පර්ත්' ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් එරට වේලාවෙන් පසුගිය සෙනසුරාදා (මාර්තු 25) ගමන් ආරම්භ කළ 'ක්වන්ටාස්' (Qantas Flight QF9) යානයට ලන්ඩන් නගරයේ 'හීත්‍රෝ' ගුවන් තොටුපොල කරා සේන්දු වීමට පැය දාහතක කාලයක් ගත් විය.

දෙසීයකට අධික මගීන් සහ දහසය දෙනකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් රැගෙන ඔස්ට්‍රේලියානු වේලාවෙන් සෙනසුරාදා සන්ධ්‍යාවේ 06.49 ට 'පර්ත්'ගුවන් තොටෙන් පියාසර කිරීම ආරම්භ කළ බෝයින් -9 'ක්වන්ටාස්' යානය, 'හීත්‍රෝ' ගුවන් තොටුපොළ ස්පර්ශ කරන ලද්දේ පසුදින ඉරිදා පාන්දර ග්‍රිනිච් වේලාවෙන් 05.02 ටය.

එය සැතපුම් 9009 ක (කිලෝමීටර් 14,498) දීර්ඝ ගුවන් ගමනකි.

දවසකට ආසන්න පැය ගණනාවක් නොකඩවා පියාසර කළ යානය කලින් ඇස්තමේන්තු කර තිබුණ කාලයට වඩා මිනිත්තු අටකට පෙර ලන්ඩන් නගරයට ලඟා වූ බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

'ක්වන්ටාස්' ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇලන් ජොයිස් (Alan Joyce) එම ගුවන් ගමනට එක්ව සිටි අතර, ඔහු එය හඳුන්වන ලද්දේ "ගුවන්ගමන් මගෙහි තීරණාත්මක පරිවර්තනයක්" ("game-changing route") හැටියටය.

මහාද්වීප තුනක් ඔස්සේ පියාසර කළ දීර්ඝ මංගල ගුවන් ගමන ආරම්භ කිරීමට පෙර පැවැත්වුන උත්සවයේ දී අදහස් දැක්වූ ප්‍රධාන විධායක නිලධාරියා "කැන්ගරු ගමනක් (kangaroo route) ලෙස නමක් පටබැඳ තිබුණ බ්‍රිතාන්‍ය- ඔස්ට්‍රේලියානු ගුවන් ගමනක් සඳහා දවස් හතරක් ගත වූ අතර එම යානා අතරමඟ ගුවන්තොටුපොළ හතක නතර කරන ලදැයි" සිහිපත් කළේය.

අභිනවයෙන් ආරම්භ කෙරුණ අතරමඟ නැවතීමක් නොමැති ගුවන් මඟ ඔස්සේ සිය රටට ගලා එන සංචාරකයන්ගේ සංඛ්‍යාව වැඩිවනු ඇතැයි බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත ආණ්ඩුව බලාපොරොත්තු පළ කරයි.

"බටහිර ඔස්ට්‍රේලියානු ආර්ථිකයේ සහ සංචාරක ක්‍ෂේත්‍රයේ නව යුගයක් නිල මට්ටමින් සනිටුහන් විනැයි" එම ප්‍රාන්තයේ අගමැති මාර්ක් මැක්ගවන්(Mark McGowan) පවසයි.

ගුවන් ගමනක් අතර මැද යානා නතර කිරීමේ දී සිදුවෙන 'නින්ද කැඩීම' සහ ගුවන් යානා මාරු කිරීමේදී මුහුණ දීමට සිදු වෙන 'විඩාව' මෙම දීර්ඝ ගුවන් ගමන නිසා වැළකුණ බව එම යානයේ මගියකු ලෙස ගමන් ගනිමින් සිටි ගත්කතුවරයකු සහ ගුවන් නියමුවකු වන මයිකල් ස්මිත් පවසයි.

"මෙය ඔබ කැමති තැනකින් පටන් ගෙන ඔබට අවශ්‍ය තැනකට යන්න පුළුවන් මාවතක්" බීබීසී වැඩ සටහනකට සහභාගී වූ මයිකල් ස්මිත් සඳහන් කළේය.

මෙම ගුවන් ගමන ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයෙන් ලන්ඩනයට හෝ නිව්යෝර්ක් කරා අතරමඟ නැවතුමක් නොමැති ගමනාන්ත පිළිබඳ "ශුද්ධ ගවේෂණයක්"වනු ඇතැයි මයිකල් ස්මිත් වැඩි දුරටත් පවසයි.

'හැම්ප්ෂයර්' නගරයේ සිටින සිය පවුලේ ඥාතීන් දැකීම සඳහා අවුරුදු පතා එංගලන්තය බලා එන ඔස්ට්‍රේලියානුවාසී ගුවන් මගියෙක් අදහස් දක්වමින් තමාගේ මෙවර සංචාරය "ඉතා ඉක්මන්" එකක් වූ බව කියා සිටියේය.

"ඒක 'නියම' ගමනක්. මෙය අපේ හොඳම ගුවන් ගමන. හරිම සතුටුයි! ඒ වගේම කිසිම වෙහෙසක් නැහැ" ගුවන් මගියා සිය දීර්ඝ ගමනේ අසිරිය විඳියි.

"අතරමඟ නවතින්නේ නැතිව ආපු ගමන විශිෂ්ඨයි. පැය දාහතක ගුවන් ගමන ඉතා සැපවත් කාලයක් වුනා" තවත් මගියෙක් පැවසීය.

"ගුවනේ දී අමතක නොවන සිත බැඳ තබන බොහෝ දේවල් සිද්ධ වුනා" ආපසු එක්සත් රාජධානිය බලා පැමිණි කාන්තාවක් පවසන්නීය.

"අතරමඟ නතර නොකිරීම ඒ තරම් හොඳ දෙයක් වුනා. මගීන්ට ගුවන් තොටුපොළවල පර්යන්ත ඔස්සේ රැඳී ඉන්න සිද්ධ වෙන්නෙ නැහැ" ඇය වැඩි දුරටත් සඳහන් කළාය.

දීර්ඝ ගුවන් ගමනක දී මගීන්ට පීඩාවක් වෙන 'ශබ්දය' අවම කිරීමට සහ යානය තුළ වායු ගුණය ඉහළ මට්ටමක පවත්වා ගැනීමට අවශ්‍ය උපකරණ මෙම යානයට අන්තර්ගත කර ඇත.

යානය තුළ තම නිදා ගැනීමට අදාළ තොරතුරු සහ එහි තත්වය ක්‍රියාත්මක වෙන ආකාරය ''සිඩ්නි' සරසවියේ පර්යේෂකයන් සමඟ හුවමාරු කර ගැනීමට ඇතැම් ගුවන් මගීන් එකඟව සිටිති.

ඔවුහු සිය මානසික තත්වය, ආහාර ගැනීමේ රටාවන් සහ සජලන මට්ටම් (hydration levels)පටිගත කෙරෙන විශේෂ නිරීක්‍ෂණ උපකරණ පැළඳ සිටියහ.

ගුවන් ගමන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන එක්සත් රාජධානියේ කණ්ඩායමක් එම යානය බලාපොරොත්තුවෙන් 'හීත්‍රෝ' ගුවන් තොටුපොළට කල්තබාම රැස්ව සිටියහ.

සිය ඓතිහාසික ගුවන් ගමන නිමාවේ ලන්ඩන් නගරයේ පය තැබූ ගුවන් මගීහු ඔවුන් පිළිගත් අවස්ථාවේ පින්තූර වලට පෙනී සිටිමින් ඒවා ඔවුන් අතර හුවමාරු කර ගත්හ.

ඔස්ට්‍රේලියාවේ සිට ලන්ඩනය බලා කලින් සිදු කෙරුණ ගුවන් ගමන් සමඟ සාපේක්ෂව බලන විට මෙම ගුවන් මගත් සමඟ එය පැය තුනකින් කඩිනම් වෙයි.

ලන්ඩන් බලා පියාසර කරන ඔස්ට්‍රේලියානු යානා කලින් ගුවන් ගමන්වලදී මැදපෙරදිග ඔස්සේ වෙනත් මාර්ගයක් පාවිච්චි කළ අතර, වෙනත් ගමනාන්ත සඳහා යොමු වූ මගීන්ට ගොඩ බැසීමට සහ අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා එම යානා බොහෝවිට මැද පෙරදිග රටක ගුවන් තොටකට ගොඩබස්වනු ලැබුණි.

ජාත්‍යන්තර ගුවන් ගමන් සම්මේලනය වාර්තා කරන පරිදි දැනට වාර්තා වී ඇති අතරමඟ නැවතුමක් නොමැතිව ඒක දිගට පියාසර කළ දීර්ඝතම ගුවන් ගමනක් කටාර් ගුවන් සේවය මගින් ද වාර්තා කරනු ලැබ ඇත.

එම 'කටාර්' යානය එක්සත් අරාබි එමීරයේ 'ඩොහා'සිට නසීලන්තයේ 'ඕක්ලන්ඩ්'කරා ලඟා වී ඇත්තේ කිලෝ මීටර් 14,529 ක ගුවන් මගක් ගෙවමිනි.

'එමිරේට්ස්' සහ 'යුනයිටඩ් එයාර් ලයින්ස්' වැනි වෙනත් සමාගම්වලට අයත් ගුවන් යානා කිලෝමීටර් 14000 කට අධික දුරක් අතරමඟ නැවතුම් නොමැතිව පියාසර කරමින් වාර්තා තබා ඇත.

'යුනයිටඩ් එයාර් ලයින්ස්' යානයක් 'ලොස් ඇන්ජලීස්' සිට සිංගපූර් කරා නොනැවතී පියාසර කරමින් ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් ඉතිහාසයේ දීර්ඝතම ගුවන් ගමන වාර්තා කළේය.

එහෙත් සිංගපූර් එවැනි වාර්තා අතින් වඩාත් ඉදිරියෙන් සිටියි.

සිංගපූර් ගුවන් සමාගමේ යානයක් 2013 වසරේ සිය මව්බිමේ සිට නොනැවත පියාසර කරමින් කිලෝමීටර් 15,300 ක ගුවන් මගක් ගෙවමින් නිව්යෝර්ක් නගරයට ලඟා වී ඇත.

යළිත් ක්‍රියාත්මක නොකෙරුණ එම සංචාරය, ගගන යාත්‍රාවක් අතරමඟ නොනැවතී එක දිගට පියාසර කළ ලොව දීර්ඝතම ගුවන් ගමන ලෙස ලෝක ඉතිහාසයට එක්ව ඇත.

සබැඳි පුවත්;