"අප එක්ව මේ ගමන යා යුතුයි. කුඩා පිරිසක් තුළ තමයි මෙවැනි ප්‍රශ්න තිබෙන්නේ"

මහනුවර සහ ඒ අවට ප්‍රදේශවල ආගම මත පදනම් වූ ප්‍රචණ්ඩ ක්‍රියා පැතිර යද්දී සහජීවනයේ ඇති වැදගත්කම ලොවට කියනුවස් මුස්ලිම් පල්ලි වෙත වැඩම කළ බෞද්ධ භික්ෂූන් වහන්සේ පිළිබඳ රත්මලානෙන් වාර්තා වේ.
පසුගිය දින කීපයක් තුළ මහනුවර දිස්ත්‍රිකයේ ඇතැම් ප්‍රදේශවලට අයත් මුස්ලිම් දේවස්ථාන, ව්‍යාපාරික ස්ථාන සහ නිවාස ඇතුළු දේපළවලට කලහකාරී පිරිස් විසින් පහර දෙනු ලැබ තිබිණි.
එසේ ප්‍රචණ්ඩ ක්‍රියා හට ගැනුණේ පෙබරවාරි මාසයේ අග භාගයේ තෙල්දෙණිය නගරයේදී මුස්ලිම් තරුණයන් පිරිසක් විසින් දෙදරු පියෙකුට පහර දෙනු ලැබීමෙන් අනතුරුව මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මිය යාමත් සමගය.
මහනුවර දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ කීපයක හටගත් එම වාතාවරණයත් සමග මුස්ලිම් ආගමික ස්ථානවල ආරක්ෂාව සඳහා පැමිණ එහි රැය පහන් කළ භික්ෂූන්වහන්සේ සහ බෞද්ධ තරුණ කණ්ඩායම් පිළිබඳ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තා විය.
අද (මාර්තු 09) සිකුරාදා යාඥාව පැවැත්වෙන අවස්ථාවේ රත්මලානේ ජුම්මා පල්ලිය වෙත බෞද්ධ භික්ෂූන් වහන්සේ පස්නමක් වැඩම කළ බව එම පල්ලියේ දායක සභාවේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන අහමඩ් රිසාන් බීබීසී සිංහල සේවය වෙත පැවසීය.
රත්මලාන ප්‍රදේශයේ විහාරස්ථාන පහක නායක හිමිවරුන් විසින් යාඥා මෙහෙයෙන් පසු සහජීවනයේ ඇති වැදගත්කම පිළිබඳ දේශනයක් කළ බව අහමඩ් රිසාන් වැඩිදුරටත් සඳහන් කළේය.
"පන්සලටත් එන්න"

මල්ලිකාරාම විහාරස්ථානය, අත්තිඩිය පාරේ පිහිටි ලංකාරාම විහාරස්ථානය, රත්මලාන බෝධිරුක්ඛාරම විහාරස්ථානය, රත්මලාන කොතලාවලපුර සමාධි බෞද්ධ මන්දිරය, රත්මලාන රජමාවත විහාරස්ථානය යන බෞද්ධ විහාරස්ථානවල නායක හිමිවරුන් ඒ අතර වූහ.
"අප එක්ව මේ ගමන යා යුතුයි. කුඩා පිරිසක් තුළ තමයි මෙවැනි ප්‍රශ්න තිබෙන්නේ" යනුවෙන් එහිදී එම භික්ෂූන් වහන්සේ පැවසී යයි අහමඩ් රිසාන් කියා සිටියේය.
"අප මේ රටේ එකම පිරිසක් වශයෙන් ජීවත් විය යුතුයි. ශ්‍රී ලංකාව තුළ එකම ධජයක් යට අප සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් වශයෙන් ජීවත් වනවා. මම සිංහලයෙක් වෙන්නටය, මම මුස්ලිම් කෙනෙක් වන්නටය, මම දෙමළ කෙනෙක් වන්නටය කියලා අපි මේ ලෝකෙට ආවේ නැහැ," යනුවෙන් යාඥාවට එක් වූ බැතිමතුන් අමතා එක් නායක හිමිනමක් පැවසූහ.
"ප්‍රශ්නයක් ඇති වූ විට පමණක් එක්රැස් නොවී මෙවැනි වැඩසටහන් අපි ඉදිරියටත් කරමු" යනුවෙන් නායක හිමිවරු එහිදී කියා සිටි බව සඳහන් කළ අහමඩ් රිසාන් රත්මලාන සහ ගල්කිස්ස ප්‍රදේශවලට අයත් ජුම්මා පල්ලි හතරකට එසේ බෞද්ධ භික්ෂූන් වහන්සේ වැඩම කළ බව ද පැවසීය.
"පෝය දින ඇතුළු පන්සලේ පැවැත්වෙන වැඩසටහන්වලදීත් මේ පිළිබඳ දැනුවත් කරනවා කියලා නායක හාමුදුරුවරු කිව්වා. පන්සලේ විශේෂ අවස්ථාවලට අපටත් සහභාගී වෙන්න කිව්වා."
සහජීවනය වෙනුවෙන් ලබන සතියේ සාම පා ගමනක් සංවිධානය කර ඇති බවත් ඒ සඳහා බෞද්ධ, හින්දු, මුස්ලිම් සහ ක්‍රිස්තියානි ඇතුළු සර්ව ආගමික නායකයන් සහභාගී වනු ඇති බවත් අහමඩ් රිසාන් වැඩිදුරටත් සඳහන් කළේය
අවිස්සාවේල්ල සහ ගෙලිඔය

මේ අතර අවිසාවේල්ල ප්‍රදේශයේ බෞද්ධ හිමි නමක් මුස්ලිම් දේවස්ථානයක ආරක්ෂාව වෙනුවෙන් එහි පැමිණ ඇත.
දිගන ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයට ගිනිතැබීම හේතුවෙන් ප්‍රදේශයේ පාසලක ක්‍රීඩා පිටියක සිකුරාදා යාඥාව සිදු කර ඇති අතර ආගමික වතාවත් ඉටු කිරීම සඳහා සිංහල ප්‍රජාවගේ සහාය හිමි වූ බව වාර්තා වේ.
ගෙලිඔය බෞද්ධ භික්ෂුන් වහන්සේ ඇතුළු සිංහල ප්‍රජාව එක්ව අදාළ ප්‍රදේශවල මුස්ලිම් ජනතාව ඇතුළු ඔවුන්ගේ දෙපළ ආරක්ෂා කිරීම වෙනුවෙන් සංවිධානගතවූ බවට ද තොරතුරු වාර්තා විය.
සබැඳි යොමු:








