ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"එදා වගේ නෙවෙයි පැයකින් හමාරකින් ප්‍රතිඵලේ දැනගන්න පුළුවන්"
අද තවත් ඡන්දයක් පැවැත්විණ.
එහෙත් ඡන්ද ප්‍රතිඵල දැනගැනීම සඳහා ත්‍රිකුණාමල මුහුදු වෙරළ ආසන්නයේ ඇති පිට්නියේ රෑ පහන් වෙන තුරු නිදි මරණ දහස් ගණන් ජනයා පෙරදී මෙන් මෙවර දකින්නට නැත.
ගමේ ඡන්ද මධ්‍යස්ථානයේදීම ඡන්දය ගණන් කෙරෙන නිසා එසේ යාමට අවශ්‍යතාවක් නැති බව ගම්වැසියෝ කියති. පෙර පැවති සියළු මැතිවරණවලදී ඡන්දය ගණන් කෙරුනේ කච්චේරිය තුලදීය.
"මනාප ක්‍රමය අහෝසි කරපු එක හරි මදි," කන්තලේ වෙන්ඩ්‍රාසන් පුර ගමේ ඡන්ද මධ්‍යස්ථානයක් අසල නිවසක මිදුලේ බංකුවක වාඩි වී ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින හැත්තෑ හය හැවිරිදි ඩීඑම් ජයවීර පවසයි.
"මොකද, ගමේ ඉන්න අපේම අයමනේ ඡන්දය ඉල්ලන්නේ. මනාප තුන තුන්දෙනෙකුට දීලා හැමෝම හොඳින් තියාගන්න තිබුනා."
"නෑ නෑ එහෙම කියන්න එපා. මනාපේ නිසා නිසා ගමේම අය කොයිතරම් නම් ගහ-බැන ගත්තද?" ඒ හතලිස් පස්හැවිරිදි ඒජිඑස් ඉලංගරත්න ගේ හඬය.
ඔහු මනාප ක්‍රමයට සිය දැඩි විරෝධය පළකළේය.
"දැන් මනාප ක්‍රමය නෑනේ. මේකට විතරක් නෙවෙයි අනෙක් මැතිවරණවලටත් මනාපය නැති එකම තමයි හොඳ."
ඡන්ද ප්‍රතිඵල ගැන උන්දුවක් දක්වන පිරිස් ගමේ ගණන් කිරීමේ මධ්‍යස්ථානයට ආසන්න අතුරු මාර්ගවල ද රංචු ගැසී සිටින අයුරු දකින්නට ලැබුනි. ඔවුන්ගේ ජංගම දුරකථන යොමු වී තිබුනේ වෙනත් කොට්ඨාසවල ප්‍රතිඵල දැනගැනීමටය.
"මේක ඉතාම පහසුයි සරළයි. ආණ්ඩුවෙන් නිල ප්‍රතිඵල නිකුත් කරන තුරු රූපවාහිනිය ලඟ බලාගෙන ඉන්න අවශ්‍ය නෑ," බොහෝ දෙනා එසේ පැවසූහ.
"සවස හතරට ඡන්දෙ ඉවරයි. පැයකින් හමාරකින් ප්‍රතිඵලේ දැනගන්න පුළුවන්," ගම්වැසියන්ගේ පොදු අදහස එයය.
ප්‍රතිඵලය නිකුත් කරන ආකාරය වෙනස් වුවත්, මනාප ක්‍රමය ගැන වාද විවාදවලින් අඩුවක් නැතත්, ඡන්දය ගැන ගම්වැසියන්ගේ උනන්දුවේ අඩුවක් ද නොවීය.
"කොච්චර බැරිවුනත් ඡන්දෙ නම් නොදා ඉන්නේ නෑ. ඒක ඉතින් නවතින්නේ මළාට පස්සේ තමයි," සිය දරුවන්ගේ අත්වාරුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට යමින් සිටි වයෝවෘද්ධ පුද්ගලයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.
තවත් කියවන්න: