මෙවර ඡන්දය භාවිත කළ යුත්තේ කෙසේද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පළාත් පාලන ආයතන 340 කට පත්විය යුතු අවම සභිකයන් 8328 ක් තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීම ලබන සෙනසුරාදා පැවැත්වීම පිණිස සියල්ල සූදානම් වෙමින් පවතියි.
මෙවර ඡන්දය දැමීම සඳහා ශ්‍රී ලාංකිකයන් 15,760,867 සුදුසුකම් ලබා ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව ඡන්දය අත්හිටුවා ඇති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද දායකයන්ට හැර අනිකුත් සියළු දෙනාට සිය ඡන්දය ප්‍රකාශ කළ හැකිය.
ඡන්දය අත්හිටුවා ඇති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ධුර 28 ටද ඇතුළුව මෙවර මැතිවරණයට ඉදිරිපත්ව ඇති මුළු අපේක්ෂකයන් ගණන 56,066කි. ඔවුන් අතරින් 8356 දෙනෙකු පළාත් පලාන ආයතනවලට තේරී පත්වීමට නියමිතය.
නව ඡන්ද ක්‍රමය
නව පළාත් පාලන නීතිය අනුව මෙවර එක් එක් පළාත් පාලන ආයතනය සඳහා තරග කරන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් නාම යෝජනා භාර දීමේ දී එකමුතු අපේක්ෂක ලැයිස්තු දෙකක් මැතිවරණ කොමිසමට ඉදිරිපත් කර තිබේ.

ඉන් එක් අපේක්ෂක ලැයිස්තුවක් පළාත් පාලන බල ප්‍රදේශයේ කේවල ඡන්ද කොට්ඨාශ සඳහා තරග වදින අපේක්ෂකයන් වන අතර දෙවැන්න සමානුපාතික ලැයිස්තුවය.
එහෙත් ඡන්දදායකයා පෙබරවාරි දහවෙනිදා සිය ඡන්දය ප්‍රකාශ කළ යුතුව තිබෙන්නේ, එම අපේක්ෂකයන් සඳහා නොව තමා කැමති දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායම වෙනුවෙනි.
ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානයකට යන ඡන්දදායකයන්ට ඔහු හෝ ඇය අයත් පළාත් පාලන ආයතනයට තරග වදින දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නම් සහ ඡන්ද ලකුණු ඇතුළත් ඡන්ද පත්‍රිකාවක් ලැබෙන අතර ඔවුන් කළ යුත්තේ එහි දැක්වෙන තමා කැමති පක්ෂයේ හෝ කණ්ඩායමේ ලකුණ ඉදිරියේ කතිරය ගැසීමෙන් ඡන්දය දීමය.
පසුගිය මැතිවරණ වල මෙන් මනාප සලකුණු කිරීමක් මෙහිදී සිදු නොවේ. එක් කතිරයක් පමණක් ඡන්ද පත්‍රිකාවේ සටහන් කළ යුතුය.

"අනිවාර්යෙන්ම ජන්දය දාන්න"
"ලංකාවේ මැතිවරණවලදී තීරණාත්මක පිරිස ඔබ බව මතක තබා ගන්න. ඔබ ඔබේ ඡන්දය භාවිත නොකළහොත් ඔබ අකමැතිම පුද්ගලයා ඔබේ කොට්ඨාසයේ මහජන නියෝජිතයා වෙන්න පුළුවන්. ඔබ අකමැතිම පක්ෂය හෝ කණ්ඩායම ඔබේ පළාත් පාලන ආයතනයේ බලය ලබා ගැනීමට ඉඩ තිබෙනවා," පැෆරල් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි ඡන්දය දැමීමේ වැදගත්කම ගැන අදහස් දැක්වුයේ එලෙසය.
"එබැවින් ඔබ කෙතරම් කලකිරීමෙන් සිටිය ද සාපේක්ෂව සුදුසු පුද්ගලයන් සිටින පක්ෂය තෝරා ඔබේ වටිනා ඡන්දය භාවිත කිරීමට වගබලා ගන්න."
විවිධ හේතූන් මත දේශපාලනය සහ දේශපාලනඥයන් පිළිබඳ කලකිරීමෙන් හෝ දේශපාලන ක්‍රමය පිළිබඳ කලකිරීමට පත්ව ඡන්දය භාවිත නොකරන්නට යම් අයෙකු සිතන්නේ නම් එය මේ මොහොතේ නොකළයුතු දෙයක් බව ඔහු තවදුරටත් පැවසුවේය.

"ඔබේ ඡන්දයෙන්, ඔබේ ගම ගැන, ඔබ ගැන මැනෙන බැවින් සාම්ප්‍රදායික තෝරා ගැනීමෙන් වැළකී දක්ෂ නිර්මාණශීලී දූෂිත නොවන අපේක්ෂකයන් තෝරා ගන්න," ලෙස ඔහු ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටියි.
මේ අතර ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාරද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සියළු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියේ අනිවාර්යෙන්ම සිය ඡන්දය භාවිතා කරන ලෙසයි.
"මතක තියාගන්න, ශ්‍රී ලංකාව තුළ ඔබ කොයි ප්‍රදේශයේ ජීවත් වුවත් පෙබරවාරි 10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන ඡන්දයෙදී ඡන්දය පාවිච්චි නොකරන හොද පුරවැසියන් විසින් නරක නිලධාරීන්ව තෝරා ගන්නවා. නවතින්න, හිතන්න, ඡන්දය දාන්න," යනුවෙන් සංගක්කාරගේ ට්විටර් පණිවිඩයේ සඳහන් විය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අදාළ මධ්‍යස්ථානයට යන විට තම අනන්‍යතාවය තහවුරු කළ හැකි ලේඛනයක් රැගෙන යායුතු බව පැෆරල් සංවිධානය පවසයි.
මැතිවරණ කොමිසම පිළිගන්නා අනන්‍යතා ලේඛන: පුද්ගලයින් ලියාපදංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන පූජ්‍ය/ පූජක හැඳුනුම්පත හෝ මැතිවරණ කොමිෂන් සභාව මගින් නිකුත් කළ විශේෂ හැඳුනුම්පත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඡන්දපොළට යාමේදී ඔබට ලැබී ඇති නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව රැගෙන යාම පහසුවක් වන බව පවසන පැෆරල් සංවිධානය, එය නොමැති වුවද ඔබගේ නම 2017 ඡන්ද නාමලේඛනයෙහි තිබේනම් ඡන්දය භාවිත කළ හැකි බව පෙන්වාදෙයි.
තවත් තොරතුරු:








