බැඳුම්කර කොමිසමේ වාර්තාව කතානායකවරයාට නොදුන්නේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, PMDnews.lk
බැඳුම්කර නිකුතුව සම්බන්ධ ජනාධිපති කොමිසමේ වාර්තාව පිළිබඳව විවාද කිරීම පිණිස පක්ෂ නායකයන්ගේ ඉල්ලීම ප්‍රකාර එය තමන් වෙත ලබා දෙන මෙන් කතානායක කරු ජයසූරිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන් ඉල්ලීමක් කර තිබුණි.
එහෙත් එම වාර්තාව බදාදා (ජනවාරි 10) තමන් වෙත ලැබී නැති බව කතානායකවරයා නිවේදනය කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ගුටි බැට හුවමාරුවක් හටගත්තේය.
වාර්තාව ලබන ජනවාරි 17 වෙනි දින ලබා දෙන බව ජනාධිපතිවරයාගේ ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු කතානායකවරයා වෙත දැනුම් දී තිබුණි.
කතානායකවරයාගේ ඉල්ලීම ප්‍රකාර ජනාධිපති ලේකම්වරයා, එම වාර්තාව බදාදා පාර්ලිමේන්තුව වෙත ලබා නොදුන්නේ ඇයි?
"ඒකට කාරණා කිහිපයක් තියෙනවා," ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළේය.

"ඊයේ (ජනවාරි 09) හවස 4:25ට අපිට ෆැක්ස් මැසේජ් එකකින් ආව පණිවිඩයක්, බොන්ඩ් කමිෂන් එකේ පිටපත් 26ක් දෙන්න කියල. ඉතින් පිටපත් 26ක් දෙන්න කොහොමත්ම බෑ ඒ වෙලාවේ," ඔහු විස්තර කළේය.
පසුගිය දෙසැම්බර් 30 වෙනි දින ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබූ බැඳුම්කර කොමිසම් පිටපතක් දින කිහිපයකට පසුව නීතිපතිවරයා වෙත යොමු කරන ලදි.
ජනාධිපති ලේකම්වරයා පවසන පරිදි වාර්තාව සම්බන්ධ ඉදිරි පියවර පිළිබඳව නීතිපතිවරයාගෙන් ලද උපදෙස් ප්‍රකාර එහි පිටපත් තවත් ආයතන කිහිපයකට ලබා දිය යුතු වීම තවත් හේතුවකි.
"නීතිපතුමාගේ උපදෙස් අනුව ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහ බැංකුවේ අධිපතිතුමත්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අධිනීතිඥ සරත් ජයමාන්නත් කැඳවල අද උදේ අපි පිටපත් භාර දුන්න," ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට පැවසීය.
වාර්තාව කියවා අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ඔවුන්ට කාලය ලබා දිය යුතු බැවින් කොමිසමේ වාර්තාව ලබන 17 වෙනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව තමන් කතානායකවරයාගේ කාර්යාලයට දැනුම් දුන් බවත් ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේය.
ඒ අතරම බරපතල වංචා සහ දූෂණ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තා 34ක් ලබා දෙන මෙන් ද කතානායකවරයා ඉල්ලීම කර තිබුණු නමුත් එම කොමිසම් වාර්තාවේ අතිරේක පිටපත් තමන් සතුව නොමැති බැවින් පාර්ලිමේන්තුවට එහි පිටපත් ලබාදීම සඳහා තවත් කාලයක් ගතවනු ඇතැයි ද ජනාධිපති ලේකම්වරයා කතානායකවරයා වෙත දැනුම් දී තිබේ.
එසේ ලබා දෙන විට එම වාර්තාවල කිසිදු කොටසක් "වසන් කිරීමේ" කිසිදු අභිලාශයක් නොමැති බව ද ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසීය.
සබැඳි යොමු:









