අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බැඳුම්කර වාර්තාවේ ඇතුළත් තොරතුරු මුල්කර ගනිමින් අගමැති රනිල් වික‍්‍රමසිංහට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවක දී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ එම සැලැස්ම ප්‍රකාශයට පත්කළ අතර, සඳුදා (ජනවාරි 08) රැස්වෙන ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ඇතැයි බීබීසී සිංහල සේවය කළ විමසීමක දී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළේය.
ඒ අනුව සඳුදා පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ දේශපාලන පක්ෂ නායක හමුවේ දී අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීම පිළිබඳව අවසන් තීන්දුවක් ගනු ඇත.
අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පෙර සභාගත කරමින් එය විවාදයට ගෙන එමගින් අගමැතිවරයා ධුරයෙන් ඉවත් කිරීම ඒකාබද්ධ විපක්ෂයේ සැලැස්ම වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, President office.lk
අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවක් පිළිබඳව කොළඹ පැවැත්වුන මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, කලින් සම්ප්‍රදායක් හැටියට මුදල් ඇමතිවරයා යටතේ පාලනය වූ මහ බැංකුව වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ගැසට් නිවේදනයක් මගින් අගමැති විෂය පථයට ඇතුළත් කර ගත්තේ කුමක් නිසාදැයි ප්‍රශ්න කළේය.
බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විභාග කළ ජනාධිපති කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුව ඇතැයි සඳහන් කළ මන්ත්‍රීවරයා, අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන බවත් කියා සිටියේය.
කොමිසන් සභා වාර්තාව මගින් අගමැතිවරයාට එරෙහිව කිසිදු චෝදනාවක් නැතැයි පැවසීම මන්ත්‍රීවරයා විග්‍රහ කළේ 'ස්වයංවින්දනයක්' හැටියටයි.
එම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් තමා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේ අගමැතිවරයා නැඟී සිටිමින් එම ප්‍රශ්නයත් ඊට අදාළ පිළිතුරත් ව්‍යාකූල කරන ලදැයි සඳහන් කළේය.
බැඳුම්කර කොමිසන් සභා වාර්තාව අනුව අගමැතිවරයා නිදොස් බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළත්, මේවනවිට "අගමැතිවරයා කොටු වී සිටින්නේය" යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරගේ අදහසයි.
පොලිසිය ,නීතිපති දෙපාර්තමේන්තුව සහ මහ බැංකුව අගමැති පාලනය යටතේ පවතින තෙක් අගමැතිවරයා ඇතුළු අපරාධ සිදු කරන ලද පුද්ගලයන්ට එරෙහිව පැහැදිලි පියවරක් ගැනීමට අවස්ථාව නොලැබෙන බවත් මන්ත්‍රීවරයා පවසයි.
අර්ජුන් මහේන්ද්‍රන් යළිත් මහබැංකු අධිපති පදවියට පත් කරන මෙන් නිර්දේශ කරන ලද්දේ අගමැති රනිල් වික්‍රමසිංහ විසින් යයි ඉහත කී මාධ්‍ය හමුවට එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේය.
ශ්‍රීලනිප ප්‍රතිචාරය

ඒකාබද්ධ විපක්ෂය විසින් සැලසුම් කරමින් ඇති විශ්වාස භංග යෝජනාව පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිචාරය දැන ගැනීමට බීබීසී සිංහල සේවය එම පක්ෂයේ මහලේකම් කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායකගෙන් විමසීමක් කළවිට තම පක්ෂය මේ දිනවල පළාත් පාලන මැතිවරණය කෙරෙහි පූර්ණ අවධානය යොමු කරමින් ඇති හෙයින් එවැනි විශ්වාස භංග යෝජනාවක් ගැන තවමත් සාකච්ඡා නොවූ බව සඳහන් කළේය.
බීබීසීය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික එස්.බී දිසානායක ඇමතිවරයා වෙත අදාළ ප්‍රශ්නය යොමුකළ විට ඔහු කියා සිටියේ "ඒකාබද්ධ විපක්ෂය විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුවක් ගත්විට ඒ පිළිබඳව අවධානය යොමු කරන" බවය.
ශ්‍රී ලංකාවට රුපියල් බිලියන ගණනක අලාභයක් සිදු වූ බැඳුම්කර නිකුතුව සම්බන්ධ ක්‍රියාවලියේදී අගමැති රනිල් වික්‍රමසිංහ වරදක් කර නැතැයි විශේෂ ජනාධිපති කොමිසමේ නිගමනය වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, President office.lk
හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මන්ත්‍රීවරයා සහ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරිය යුතු බවට කොමිසම ඉදිරිපත් කර තිබෙන නිර්දේශ සිය පක්ෂය අනුමත කරන බව ද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අජිත් පී පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.
මහබැංකු බැඳුම්කර වාර්තාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව කැඳවන මෙන් ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලීමක් කර ඇති අතර ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කතානායකවරයා ලබන්න අඟහරුවාදා දේශපාලන පක්ෂ නායක හමුවක් කැඳවා ඇති බවක් ද වාර්තා වෙයි.
සබැඳි පුවත්;









