බෝට්ටුවෙන් "නවසීලන්තය බලා යාමට" තැත් කළ තිස් එකක් අත්අඩංගුවේ

අත්අඩංගුවට පත් පිරිස

බෝට්ටුවක් මගින් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවෙන් පිටව යාමට උත්සාහ කළ තිස් එක් දෙනෙකු හලාවත ආරච්චිකට්ටුව නගුල්එලිය දුපත ආසන්නයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

එම පිරිස රැගත් බහු දින ධීවර යාත්‍රාව අයහපත් කාලගුණය හේතුවෙන් අනතුරට ලක්ව තිබූ බව කියා සිටි ආරච්චිකට්ටුව පොලිසිය නාවික හමුදාවේ ද සහාය ඇතිව එහි සිටි පුද්ගලයන් මුදා ගැනුණු බව සඳහන් කළේය.

තමන් නවසීලන්තය බලා යාත්‍රා කරමින් සිටි බව එහි සිටි බහුතරය පොලිසියට පවසා තිබේ.

බදුල්ල, යාපනය, මන්නාරම, මුලතිව් සහ උඩප්පුව යන ප්‍රදේශවල පදිංචිකරුවෝ අත්අඩංගුවට පත් පිරිස අතර සිටිති.

රුපියල් ලක්ෂ දෙකත් ලක්ෂ තුනත් අතර මුදලක් ගෙවන්නේ නම් තමන් නවසීලන්තය වෙත රැගෙන යාමට යාපනයේ පදිංචිකරුවෙකු පොරොන්දු වූ බව අත්අඩංගුවේ පසුවන බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේය.

නවසීලන්තය බලා ගිය පසු අදාළ මුදල ලබා දීමේ එකඟතාව මත තමන් එම ගමනට එක් වූ බව ද ඔහු පැවසීය.

ඉහත කී පිරිස අතර සිටි අයහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසු වූ උඩප්පුවේ පදිංචිකරුවෙකු රෝහල් ගත කරන ලද බවත් පොලිසිය සඳහන් කළේය.

"මුහුද සැර වුණා"

අනතුරට පත් බෝට්ටුව
ඡායාරූප ශීර්ෂ වැකිය, අනතුරට පත් බෝට්ටුව

පොලිසිය පවසන පරිදි බෝට්ටුවේ ගමන් ගත් පිරිසෙන් කොටසක් අඟහරුවාදා (නොවැ 28) එයට නැග ඇති අතර සෙසු පිරිස බදාදා එයට ගොඩ වී ඇත්තේ උඩප්පුව ප්‍රදේශයෙනි.

"අපි බෝට්ටුවට නැගලා පැය කිහිපයකින් මුහුද රළු වුණා. අපි බය වුණා. බෝට්ටුවේ කෑම මුකුත් තිබුණෙත් නැහැ," යනුවෙන් කී අත්අඩංගුවේ පසුවන එක් පුද්ගලයෙකු තමන් ප්‍රමාණයෙන් විශාල වෙනත් බෝට්ටුවකට රැගෙන යාමට නියමිතව තිබු බව පැවසීය.

"ඒත් ලොකු බෝට්ටුවක් ආවේ නැහැ. මුහුද එන්න එන්න සැර වුණා. අපි කෑගහන්න පටන් ගත්තා. එතකොට බෝට්ටුව පදවන්නා බෝට්ටුව වෙරළ දිහාවට පැදෙව්වා. වෙරළට ලංවෙනකොට සමහර අය වතුරට පැනලා පළා යන්න උත්සාහ කළා," යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

"තිස් එකකට වැඩි පිරිසක්"

බෝට්ටු ඔස්සේ නවසීලන්තයට
ඡායාරූප ශීර්ෂ වැකිය, "වෙරළට ලංවෙනකොට සමහර අය වතුරට පැනලා පළා යන්න උත්සාහ කළා"

බෝට්ටුව තුළ 31 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් ගමන් කළ බව අත්අඩංගුවේ පසුවන කිහිප දෙනෙක් මේ අතර පැවසූහ.

දැනට අත්අඩංගුවේ පසුවන පිරිස හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත සිකුරාදා ඉදිරිපත් කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

බෝට්ටුව පැදවූ තැනැත්තා පළා ගොස් ඇති බවත් ඔහු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් හලාවත පොලිස් අධිකාරී සුරංජන් කුමාරගේ බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

මෑතදී බෝට්ටු මගින් නීති විරෝධී ලෙස රටින් පිටව යාමට තැත් කළ කණ්ඩායම් දෙකක් උඩප්පුව සහ පුත්තලම ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත් වූ බව පොලිසිය වැඩිදුරටත් කියා සිටියේය.

සමාන පුවත්: