ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඇමෙරිකාවේ ළමා විවාහ: "දූෂණය කරපු මිනිහට මාව කසාද බන්දල දුන්න"
සිය මව විසින් බලහත්කාරයෙන් විවාහ කර දෙනු ලබන විට ඒන්ජල් 13 හැවිරිදි බාල වියේ දැරියකි.
"මම එතකොට පොඩි කෙල්ලෙක්. මට ඕන වුනේ පෙම්වතෙක් වගේ කෙනෙක්," ඇය පවසන්නීය.
"ඒත් මගේ අම්ම කළේ ඊට වඩා එහෙම පිටින්ම වෙනස් දෙයක්."
සිම්බාබ්වේ, මලාවි සහ එල් සැල්වදෝරය ඇතුළු රටවල් පවා මෑත දී ළමා විව්වහ තහනම් කරනු ලැබූ නමුත්, ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ළමා විවාහ නීති විරෝධී නොවේ.
එක්සත් ජනපදයේ ප්‍රාන්තවලින් අඩකම විවාපත් වීමේ අවම වයස නීති පොත්වලට ඇතුළත් කොට නැත. එසේ ඇතුළත් කරන ලද ප්‍රාන්තවල පවා අවම වයස අවුරුදු 13 හෝ අවුරුදු 14 වැනි බාල වයසකි.
මේ තත්වය යටතේ ගතව ගිය 15 වසර ඇතුළත ලක්ෂ දෙකකට අධික බාල වියේ දරුවන් එක්සත් ජනපදයේ දී විවාහ කර දී තිබේ.
ෂෙරී ජොන්සන් ළමා වියේදී විවාපත් වීමට බල කෙරුණු තවත් කාන්තාවකි.
"මාව දූෂණය කරපු මිනිහට මාව කසාද බන්දල දුන්න. මාව දූෂණය කරපු මිනිහ එක්ක මට ජීවත් වෙන්න සිද්ද වුනා," ඇය පවසන්නීය.
"එයාට එතකොට අවුරුදු 20 යි, මට අවුරුදු 11 යි. අවුරුදු 16 වෙනකොට මට දරුවො හය දෙනෙක් හිටිය," ෂෙරී ජොන්සන් සිය මතකය අවදි කරයි.
"මම පොඩි කෙල්ලෙක්, අතේ සල්ලි නෑ. ඉතින් මම මොනවද කරන්නේ මට ඒ මනුස්සයගෙන් යැපෙන්න සිද්ද වුනා."
දැන් ඇය තමන් වාසය කරන ෆ්ලොරිඩා ප්‍රාන්තය තුළ ළමා විවාහ තහනම් කිරීම වෙනුවෙන් උද්ඝෝෂණය කරමින් සිටියි.
අම්මා විසින් බලහත්කාරයෙන් විවාහ කර දෙන විට 13 හැවිරිදි වියේ පසු වූ එන්ජල් සිය ප්‍රථම දරුවා බිහි කරන විට 14 හැවිරිදි දැරියකි.
"මට දැනුනේ මම වහලියක් වගේ. මගේ ජීවිතේ ගැන මට බලාපොරොත්තු ගොඩක් තිබුණ," ඇය වේදනාවෙන් සිය ළමා විය සිහි කරයි.
"කසාද බැන්දේ නැත්නම් මේ වෙන කොට කොයිතරම් දේ කරන්න තිබුණද කියල නිතරම මට හිතෙනව," බීබීසී යේ අලීම් මක්බුල් (Aleem Maqbool) සමග අදහස් පළ කරන අවස්ථාවේ ඇයට සිය කඳුළු සඟවාගත නොහැකිය.
එක්සත් ජනපදයේ දී ළමා විවාහවලට ගොදුරු කෙරෙන අති බහුතරය පිරිමි දරුවන් නොව දැරිවියන්ය යන්න තමන්ගේ උපකාර පතා පැමිණෙන බොහෝ දෙනා සලකා බැලීමේදී දකින්නට ලැබෙන ප්‍රධානම කරුණ බව 'අන්චේන්ඩ් ඇට් ලාස්ට්' (Unchained at Last) ෆ්‍රයිඩි රයිස් (Fraidy Reiss) බීබීසී යට කියා සිටියාය.
"අනික බොහෝ අවස්ථාවල විවාහය සඳහා බල කරලා තියෙන්නේ ඔවුන්ගේම දෙමාපියන්," ඇය වැඩිදුරටත් සඳහන් කළාය.