අතුරුදහන්වීම්, යුද අපරාධ, සංක්‍රාන්ති යුක්තිය සහ 'ව්‍යාජ පුවත්'

එක්සත් ජාතීන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සත්‍යය, යුක්තිය, හානිපූර්ණය සහ ගැටුම් නැවත ඇති නොවීම පිණිස වන සහතිකවීම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රෙයිෆ් ශ්‍රී ලංකා රජයේ ආරාධනාව මත මේ දිනවල ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටියි.

සිය සංචාරය අතරවාරයේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රෙයිෆ් (Pablo de Greiff) විසින් යාපනය මහජන පුස්තකාලයේදී සහ කොළඹ දී ප්‍රසිද්ධ දේශන දෙකක් ද පැවැත්වීමට නියමිතය.

මේ අතර නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය, විශේෂ නියෝජිතවරුන් දෙන උපදෙස් හෝ නිර්දේශ ක්‍රියාත්මක කිරිමට රජයන් බැඳී නොමැති වුවත් ඔවුන්ගේ විශේෂඥ දැනුමෙන් සහ අත්දැකීම්වලින් ප්‍රයෝජන ලැබීමට රජයන්ට හැකියාව තිබෙන බව සඳහන් කරයි.

"ආයතනවල ශක්‍යතා වර්ධනය, ප්‍රතිපත්ති සකස්කිරීම, ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය සහ පුහුණු අවශ්‍යතා ආදිය විෂයෙහි වාසිදායක වන ආකාරයෙන්, රජයකට අවශ්‍යයැයි හැඟෙන පරිද්දෙන් ඔවුන්ගේ උපදෙස් සහ විශේෂඥභාවය ලබා ගැනීමට රටවල්වලට හැකිය," යනුවෙන් ද විදේශ අමාත්‍යාංශ නිවේදනයේ සඳහන් වේ.

Pablo de Greiff, Christof Heyns and Maya Sahli-Fadel delivered their final report on Burundi in September

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රෙයිෆ් (වමේ) බුරුන්ඩි රාජ්‍යය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත කණ්ඩායම සමග

සිය සංචාරය අතරතුර රජයේ නියෝජිතයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සිවිල් සමාජයේ සාමාජිකයන්, ආගමික නායකයන් ඇතුළු පිරිසක් මුණගැසෙන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා ත්‍රිකුණාමලය, මන්නාරම, අනුරාධපුරය, යාපනය, කිලිනොච්චිය, වවුනියාව, මහනුවර සහ මාතර යන ප්‍රදේශවල ද සංචාරය කිරීමට නියමිතය.

සංචාරය අවසානයේ ඔක්තෝබර් 23 වැනි දින මාධ්‍ය හමුවේ අදහස් දක්වන සංක්‍රාන්ති යුක්ති යාන්ත්‍රණයන් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රෙයිෆ් (Pablo de Greiff) 2018 සැප්තැම්බර් මාසයේදී සිය සංචාරය පිළිබඳ වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව ඇතැම් මාධ්‍ය "නොමඟ යවන සුළු තොරතුරු" වාර්තා කර ඇතැයි පවසන විදේශ අමාත්‍යාංශය අවධාරණය කරන්නේ ඔහුගේ නිර්දේශ අතර ශ්‍රී ලංකාවේ ජනතාවට වාසිදායක යැයි රජය සලකන නිර්දේශ තිබේ දැයි තීරණය කිරීම සහ "ඔහුගේ දැනුමෙන්, විශේෂඥභාවයෙන් හා උපදෙස්වලින් ප්‍රයෝජන ලබමින් තව දුරටත් යම් ආකාරයකින් ඔහුගේ උපදෙස් පතන්නේද යන්න තීරණය කිරීමද ශ්‍රී ලංකා රජයට අයත් කාර්යයකි," බවය.

ජිනීවා යෝජනා සමාත කිරීම පිඋනිස ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක කාලයක් හිමි විය

ඡායාරූප මූලාශ්‍රය, SUNANDA DESHAPRIYA/TWITTER

ඡායාරූප ශීර්ෂ වැකිය, ජිනීවා යෝජනා සමාත කිරීම පිඋනිස ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක කාලයක් හිමි විය

මානව හිමිකම් උල්ලංඝණයවීම් සහ බරපතල ලෙස ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝණයවීම් සම්බන්ධයෙන් පිළියම් යෙදීම සඳහා උපාය මාර්ග, ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග සැලසුම් කිරීමේදීත් ඒවා ක්‍රියාත්මක කිරීමේදීත් ගන්නා වූ අධිකරණමය සහ අධිකරණමය නොවන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සිය නිර්දේශයන් ඉදිරිපත් කිරීම සංක්‍රාන්ති යුක්තිය සඳහා වූ එක්සත් ජාතීන්ගේ වාර්තාකරුගේ විෂය පථයට ඇතුළත් වේ.

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන සමයේ සිදු වූ බව පැවසෙන බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම පිණිස ඉතා ඉක්මනින්ම විශේෂ කමිටුවක් පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, 2015 මාර්තු මාසයේ ලන්ඩන් නුවර සංචාරයක් අතරවාරයේ බීබීසී සිංහල සේවයට පැවසීය.

වීඩියෝ ශීර්ෂ වැකිය, අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමියෝ

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ ද එවැනි ප්‍රතිඥාවක් ලබා දුන් නමුත්, එම කමිටුවට විදේශීය විශේෂඥයන් ද පත් කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය කළ නිර්දේශයට විරෝධය පළ කරන ආණ්ඩුව, අදාළ පරීක්ෂණ මණ්ඩලය මෙතෙක් පත් කර නොමැත.

මේ අතර පසුගිය වසරේ අගෝස්තු මාසයේ මුලින්ම සම්මත කොට පසුව මේ වසරේ ජුනි මාසයේ සංශෝධනය කරන ලද අතුරුදහන්වූවන් සම්බන්ධ කාර්යාලය (OMP) පිහිටුවීමේ පනතට පසුගිය ජුලි 20 වෙනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අත්සන් තැබීය.

"බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ සම්මුතිය" නම් පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කොට ඇතත්, ඒකාබද්ධ විපක්ෂයේ සහ ඇතැම් භික්ෂුන් වහන්සේ ගේ විරෝධය හමුවේ ආණ්ඩුව විසින් එම පනත් කෙටුම්පත විවාදයට ගැනීම ද කල් දමනු ලැබ තිබේ.