ඉන්දියා-ශ්‍රී ලංකා එක්දින තරඟය අතරමඟ නවතී - අවසානයේ ජය ඉන්දියාවට

ඉන්දියානු පිලත් සමග දඹුල්ලේ පැවති තරඟයේ දීත් ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රචණ්ඩ හැසිරීමක් වාර්තා විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියානු පිලත් සමග දඹුල්ලේ පැවති තරඟයේදීත් ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රචණ්ඩ හැසිරීමක් වාර්තා විය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තුන්වෙනි එක්දින ක්‍රිකට් තරඟය ශ්‍රී ලංකාවට අවාසි සහගත වීමත් සමඟ ක්‍රීඩා ලෝලීන්ගේ විරෝධය හමුවේ අතරමග නතර කිරීමට සිදු විය.

ඉන්දියානු කණ්ඩායමට මෙම තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ළකුණු අටක් පමණක් අවශ්‍ය මොහොතක ක්‍රීඩා ලෝලීහු වතුර බෝතල් ආදියෙන් ක්‍රීඩාංගනයට පහර දෙන්නට වූහ.

අද තරඟය පැවැත්වුන පල්ලෙකැලේ ක්‍රීඩාංගනය විසිඑක් දහසක් පමණ ක්‍රීඩාලෝලීන්ගෙන් පිරී පැවතුණි.

අද තරඟයේ දී පළමු ඉනිම සඳහා පිටියට බට ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර් 50 නිමාවේ කඩුලු නවයක් දැවී ළකුණු 217 ලබා සිටි අතර, ඉන්දියානු කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් කඩුලු හතරකට ළකුණු 210 ක් ලැබ සිටියදී ක්‍රීඩාගාරය තුළින් විරෝධතා ව්‍යාපාරය මතුවිය.

ක්‍රීඩාංගනය අවට හූ හඬ පැතිර ගිය බව එහි සිටින ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරකයෝ පවසති.

ඉන්දියාවට එරෙහි පළමු එක්දින තරඟයේ අවස්ථාවක්

ඡායාරූප මූලාශ්‍රය, SL CRIVKET/TWITTER

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාවට එරෙහි පළමු එක්දින තරඟයේ අවස්ථාවක්

අද තරඟයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලහිරු තිරිමාන්න ළකුණු අසූවක් වාර්තා කළේය.

ඉන්දියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා තරඟය අතරමඟ නවතින විට නොදැවී ළකුණු 122 ලැබ සිටියේය.

ඒ වනවිට මහේන්ද්‍ර සිං දෝනි නොදැවී ළකුණු 62 යි.

පොලිසිය සහ කැරලි මර්දක පොලිසිය යොදවා කලහකාරී ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගනයෙන් ඉවත් කොට යළි තරඟය ආරම්භ වීමෙන් අනතුරුව ඉන්දියානු කණ්ඩායම ඕවර් 45 .1 කදී ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණ ළකුණු අට ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළේය.

පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ උද්ගත වූ තත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලය ඕසේ ප්‍රතිචාර පළ වෙමින් පවතී.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකු වන රසල් අර්නෝල්ඩ් 'ට්විටර්' පණිවුඩයක් මගින් මෙසේ පවසයි.

පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ උද්ගත වූ තත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රතිචාර පළ වෙමින් පවතී.

ඡායාරූප මූලාශ්‍රය, TWITTR

ඡායාරූප ශීර්ෂ වැකිය, පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ උද්ගත වූ තත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රතිචාර පළ වෙමින් පවතී.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙම තරඟාවලියේ දී ටෙස්ට් ක්‍රිකට් හෝ එක්දින තරඟයක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් සමත් වී නැත.

මේ අතර අද තරඟයේ දී පන්දුවක් අතෙහි වැදීම නිසා මහපට ඇඟිල්ලේ සිදු වූ සිහින් පිපිරීමක් හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට ඉදිරි තරඟ අහිමිවෙන තත්වයක් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.