යුද්ධය නිම කළත් පොළොවේ බිම් බෝම්බ

2020 වනවිට ශ්‍රී ලංකාව බිම් බෝම්බ තොර රටක් බවට පත්කර ගැනීම ඉලක්කයයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, 2020 වනවිට ශ්‍රී ලංකාව බිම් බෝම්බ තොර රටක් බවට පත්කර ගැනීමේ උත්සහයක්

යුද සමයේ ශ්‍රී ලංකා පොළොවේ වල දමා තිබුණ බිම් බෝම්බවලින් දොළොස් ලක්ෂයකට අධික ප්‍රමාණයක්(12,76 898) මේවනවිට ඉවත් කර ඇති බව පුනරුත්ථාපන,නැවත පදිංචි කිරීම සහ බන්ධනාගාර, ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

එම වැඩ පිළිවෙළ යටතේ යුද්ධය නිම වීමෙන් පසු බිම් බෝම්බ අනතුරු රහිත ප්‍රදේශය වශයෙන් පළමු වරට මඩකලපුව දිස්ත්‍රික්කය ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

අද බදාදා (ජූනි 21) මඩකලපුව දිසා ලේකම් කාර්යාලයේ පැවති නිල උත්සවයක දී ඉහත කී තොරතුරු ප්‍රකාශයට පත් කරන ලද අතර, පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීම භාර ඇමැති ඩී.එම්.ස්වාමිනාදන් , ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නැගෙනහිර පළාතේ මහඇමතිවරයා සමඟ ඇමෙරිකාව සහ ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් කීපයක තානාපතිවරුන් කීපදෙනකු ද එම අවස්ථාවට සහභාගී වූහ.

උතුරු, නැගෙනහිර සහ උතුරු මැද යන පළාත් තුනේ වර්ග කිලෝ මීටර් 160 ක බිම් ප්‍රමාණයක බිම් බෝම්බ විසිර ඇති බව තාක්ෂණික වශයෙන් මෙහෙය වූ පර්යේෂණ වල දී හෙළි වී ඇතැයි , පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීම භාර අමාත්‍යාංශය පවසයි.

මඩකලපුවට පැමිණි ඇමෙරිකානු තානාපතිවරයා (දකුණේ)
ඡායාරූප ශීර්ෂ වැකිය, මඩකලපුවට පැමිණි ඇමෙරිකානු තානාපතිවරයා (දකුණේ)

එම භූමි ප්‍රමාණයෙන් වර්ග කිලෝ මීටර් 134 ක් බිම් බෝම්බ රහිත ආරක්‍ෂිත ප්‍රදේශ බවට දැනට පත් කර ඇති අතර තවත් වර්ග කිලෝ මීටර් 26 ක බිම් බෝම්බ ඉවත් කිරීමට ඇති බවත් 2020 වනවිට ශ්‍රී ලංකාව බිම් බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීම සිය ඉලක්කය වන බවත් එම අමාත්‍යාංශය නිවේදනයේ සඳහන් වෙයි.

එකී නිවේදනයට අනුව මඩකලපුව දිස්ත්‍රික්කයේ හඳුනාගත් ගත් වර්ග කිලෝ මීටර් හයක බිම් ප්‍රදේශයක් දැන් බිම් බෝම්බ අනතුරු රහිත ප්‍රදේශයක් බවට පත්ව ඇත.

යාපනය,මන්නාරම,වවුනියාව,මුලතිව් ,කිලිනොච්චි,ත්‍රිකුණාමල,අම්පාර,අනුරාධපුර, හා පොලොන්නරුව වැනි දිස්ත්‍රික්වල හඳුනාගෙන ඇති වර්ග කිලෝමීටර් විසි හතක භූමි භාගයක බිම් බෝම්බ ඉවත් කළ යුතුව ඇත.

ඇමැති ඩී.එම්.ස්වාමිනාදන් තානාපති නිලධාරීන් සමඟ
ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමැති ඩී.එම්.ස්වාමිනාදන් තානාපති නිලධාරීන් සමඟ

ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා රජය විසින් රුපියල් දශ ලක්ෂ හාර දහසක් ද ජාත්‍යන්තර ආයතන විසින් රුපියල් දශලක්ෂ දහදාහක් ද වැය කර ඇති බව ආණ්ඩුව පවසයි.