ඥානසාර හිමි කොහේද?

ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් නොවීම සමාජ කතිකාවක් බවට පත්ව ඇත.
ඡායාරූප ශීර්ෂ වැකිය, ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් නොවීම සමාජ කතිකාවක් බවට පත්ව ඇත.

අත්අඩංගුවට ගන්නා මෙන් අධිකරණය විසින් නියෝග කරනු ලැබ තිබියදී සිතාමතාම සැඟවී සිටින සැකකරුවකුට "චේතනාන්විතව" රැකවරණ සහ පහසුකම් සලසන්නේ නම් එවැනි පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා කටයුතු කරන බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි බීබීසිය කළ විමසීමක දී අදහස් දක්වමින්, බොදු බල සේනා මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත්නොවී සැඟවී සිටින අතර උන්වහන්සේට රැකවරණ සැපයීම රටේ උත්තරීතර ආයතනය වන 'අධිකරණයට සිදු කරනු ලබන අපහාසයක්' වන බව පෙන්වා දුන්නේය.

බොදු බල සේනා සංවිධානයේ විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මේ සම්බන්ධයෙන් බීබීසියට අදහස් දක්වමින්, ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජීවිත තර්ජන එල්ල වෙමින් ඇති බවත් ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ලිපියකින් දැනුම් දී ඇති බවත් කියා සිටියි.

එහෙත් එම පැමිණිල්ල සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් පළ වී නොමැති බවත් ඩිලන්ත විතානගේ පවසයි.

"බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මරණ තර්ජන" යන තේමාව යටතේ පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති එම ලිපිය පසුව බීබීසිය වෙතත් යොමු කර ඇති අතර "බොදු බල සේනා මහ ලේකම් හිමි මරා දැමීමට කුමන්ත්‍රණ ඇති බවත් එයට පාදක කිරීම උදෙසා අන්‍යාගමික ස්ථාන වලට පහර දෙමින් ජාතිවාදී හා ආගම්වාදී කෝලාහාල ඇතිකර එමගින් මෙම ජීවිත තර්ජන සාධරණීකරණය කිරීමට සැලසුම් කර ඇති බව දැනගන්නට ලැබී ඇති" බවත් එහි දැක්වේ.

ඒ ගැන පරීක්ෂා කොට එම හිමියන්ගේ ආරක්ෂාව සඳහා කටයුතු කරන ලෙස බොදු බල සේනා සංවිධානය ඉහත කී ලිපිය මගින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.

පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි

ඡායාරූප මූලාශ්‍රය, Priyantha jayakodi FB

ඡායාරූප ශීර්ෂ වැකිය, පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරනු ලැබ තිබෙන්නේ රටේ සාමාන්‍ය නීතිය උල්ලංඝනය කරනු ලැබීමේ වරදට බව පොලිසිය කියා සිටියි.

මිනී මැරුම්,මත්ද්‍රව්‍ය වැරදි හෝ ස්ත්‍රී දූෂණ චෝදනා යටතේ අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරනු ලැබ සිටියදී අධිකරණය මඟ හරින දහස් ගණනක් සැකකරුවන් සිටිය දී " ජාතික දේශපාලන චරිතයක්" වන ඥානසාර හිමියන් පිටුපස ලුහු බැඳීම උන්වහන්සේ මුහුණ දී ඇති උවදුරේ ප්‍රමාණය පෙන්නුම් කරන බව මේ අතර බොදු බල සේනා සංවිධානයේ විධායක නිලධාරී ඩිලන්ත විතානගේ පවසයි.

එහෙත් උන්වහන්සේට එරෙහිව වරෙන්තු නිකුත් කරනු ලැබ තිබෙන්නේ දේශපාලන කාරණා මත නොව රටේ සාමාන්‍ය නීතිය කඩ කොට අධිකරණය පැහැර හැර සිටීම නිසා බව පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පෙන්වා දෙයි.

"ඥානසාර හිමියන් අධිකරණය පැහැර හරිමින් අධිකරණයට අපහාස කරමින් සිටිනවා. මෙම අධිකරණ වරෙන්තු නිකුත් කර තිබෙන්නේ පැමිණිලි දෙකක් මුල්කර ගනිමින්. එකක් කොළඹ 'නිපොන්' හෝටලයේ පැවැත්වුන මාධ්‍ය හමුවකට කඩා පනිමින් වටරැක විජිත හිමියන්ට මරණීය තර්ජන සිදු කිරීම.දෙවැන්න, මාධ්‍ය හමුවක් කැඳවමින් පළකළ ප්‍රකාශන මගින් ආගම්වලට අපහාස කරනු ලැබීම" නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි වැඩිදුරටත් අදහස් දක්වමින් බීබීසියට කියා සිටියේය.

විවිධ දේශපාලනඥයන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිටින තැන් පිළිබඳව විවිධ ප්‍රකාශන කරන බවත් උන්වහන්සේ රැඳී සිටින ස්ථානයක් තමන් නොදන්නා නමුත් අධිකරණයට ඉදිරිපත් නොවීමට ඇති නොහැකියාව සඳහන් කරමින් එම හිමියන් වෛද්‍ය සහතික ඉදිරිපත් කර ඇති බවත් බොදු බල සේනා සංවිධානයේ විධායක නිලධාරී ඩිලන්ත විතානගේ කියා සිටියි.

ඩිලන්ත විතානගේ සහ ඥානසාර හිමි

ඡායාරූප මූලාශ්‍රය, BBS

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩිලන්ත විතානගේ සහ ඥානසාර හිමි

පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දැක්වූ විද්‍යාව සහ තාක්ෂණ කටයුතු භාර හිටපු ඇමති ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ "එක්තරා ඇමතිවරයකු විසින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට රැකවරණ සපයන" බවක් එම ඇමතිවරයාගේ නම සඳහන් කරමින් කියා තිබුණි.

ඥානසාර හිමියන්ට රැකවරණ සැලසීම සම්බන්ධයෙන් 'තවත් ඇමතිවරයකුගේ නමත්' කියැවෙමින් පවතින අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශයක් කරමින් "උන්වහන්සේට රැකවරණ සපයන්නේ තමන් නොව ආණ්ඩුව' යයි කියා සිටියේය.