ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා?
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කළ බව ඉන්දීය ප්‍රවාහන, මහාමාර්ග සහ නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය නිතින් ගද්කාරි පවසයි.
ඔහු ඒ බව කියා සිටියේ ඉන්දියාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකා අගමැතිවරයා සමග ඊයේ (අප්‍රේල් 26) යෙදුනු සාකච්ඡාවකින් පසු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි.
ඒ පිළිබඳ ශ්‍රී ලංකා අගමැතිවරයාගේ ප්‍රතිචාරය කුමක්දැයි යන්න මෙතෙක් වාර්තාවී නොමැත.
අගමැතිවරයා සහ අමාත්‍ය නිතින් ගද්කාරි අතර පැවති සාකච්ඡාව පිළිබඳ ශ්‍රී ලංකා අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ ද ඒ පිළිබඳ කිසිවක් සඳහන් කර නොතිබිණි.
යාපනය - මන්නාරම - ත්‍රිකුණාමලය මහාමාර්ගය සහ දඹුල්ල - ත්‍රිකුණාමලය අධිවේගී මාර්ගය ඇතුළු ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධන කටයුතු සඳහා ඉන්දීය ප්‍රවාහන,මහාමාර්ග සහ නාවික කටයුතු අමාත්‍යංශයේ පූර්ණ සහාය ලබා දෙන බව අමාත්‍ය නිතින් ගද්කාරි පැවසුවේ යැයි අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.
පසුගිය වසරේදී
පසුගිය වසරේදී ද ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පාලමක් ඉදිකිරීම සම්බන්ධයෙන් නිතින් අමාත්‍යවරයා අදහස් පළ කර තිබූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එවක කියා සිටියේ එවැනි පාලමක් ඉදිකිරීමේ කිසිදු සුදානමක් නොමැති බවය.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බව පසුගිය අගෝස්තු මාසයේ පාර්ලිමේන්තුව අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද එවක ඒ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පාලමක් ඉදිකිරීමේ සුදානමක් නොමැති බවය.
ඉන්දීය දේශපාලනඥයන් විසින් සිදු කරනු ලබන ප්‍රකාශ යොදා ගනිමින් ඇතැම් පිරිස් ජනතාව නොමග යවන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.