හමුදාපති පදවිය යෝජනා කළේ නෑ - ෆොන්සේකා

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයේ ඉහල තනතුරක් භාරගන්නා මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කැබිනට් මණ්ඩලයේදී තමන්ට යෝජනා නොකළ බව ග්‍රාමීය සංවර්ධන පිළිබඳ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම ආකාරයක වගකීමක් තමාට භාර දී නොමැති අතර "ආරක්ෂක අංශය පවතින්නේ ජනාධිපතිතුමා භාරයේ," බව අමාත්‍ය සරත් ෆොන්සේකා බීබීසී සිංහල සේවයට පැවසීය.

රටේ ඉදිරි ගමන සහ පරිපාලනය අඩාල කර දැමීමට ඇතැම් කණ්ඩායම් ක්‍රියාත්මක වෙමින් ඇති හෙයින් ඊට මුහුණ දීම සඳහා නව සංවිධානයක් ඇතිකොට එය තමා භාරයට පත් කිරීමට ජනාධිපතිවරයා යෝජනා කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අණ දීමක් නැහැ

සිය අමාත්‍ය පදවියෙන් ඉවත්වී යුද හමුදාපති ධුරය හෝ ආරක්ෂක ප්‍රධානී තනතුර බාරගෙන "රට තුළ විනය ඇතිකරන" ලෙස ජනාධිපතිවරයා අඟහරුවාදා (අප්‍රේල් 25) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය සරත් ෆොන්සේකාගෙන් ඉල්ලීමක් කළ බව රජයේ ප්‍රකාශක ආමාත්‍ය රාජිත සේනාරත්න කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

එහෙත් ෆොන්සේකා අමාත්‍යවරයා එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරයි.

"ආරක්ෂක අංශ නොවෙයි, හදිසි අවස්ථා පිළිබඳව, හදිසි ගැටළු සහගත තත්වයන් පිළිබඳව සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වා ගෙනයාම සහ කළමනාකරණය කර ගැනීම සඳහා යම්කිසි සංවිධානයක් ඇති කර එම නව සංවිධානය මා යටතට පත් කරන්න අවශ්‍යයි කියන යෝජනාවයි ජනාධිපතිතුමා ඉදිරිපත් කළේ," ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කළේය.

'භාරගන්නවා'

එම කාර්යයේදී අදාළ අමාත්‍යාංශ, පොලිසිය සහ ආරක්ෂක අංශ ඇතුළුව වෙනත් ආයතන නව සංවිධානයට සම්බන්ධ වෙන බව සඳහන් කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, නව පදවිය තුළ තමා ආරක්ෂක අංශවලට අණ දීමක් සිදු නොකරන බව අවධාරණය කළේය.

නව පදවිය තවමත් යෝජනාවක මට්ටමේ පවතින බව සඳහන් කළ ෆීල්ඩ් මාර්ෂල්වරයාගෙන් එවැනි තනතුරක් පවරනු ලැබුනොත් එය භාර ගන්නේදැයි බීබීසී සිංහල සේවය විමසීමක් කළ විට "වගකීමක් පැවරුනොත් එය භාර ගැනීමට සිදුවෙන" බව ඔහු සඳහන් කළේය.

ඔහු සඳහන් කරන ආකාරයේ නව ආයතනයක් ඇති කිරීමට තුඩු දී ඇති පසුබිම කුමක්දැයි බීබීසිය ප්‍රශ්න කළවිට ඊට පිළිතුරු දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා රටේ ඉදිරි ගමන සහ පරිපාලනය අඩපණ කිරීමට ඇතැම් කණ්ඩායම් උත්සාහ කරන හෙයින් එවැනි ආයතනයක් ආරම්භ කිරීමට ජනාධිපතිවරයා අදහස් කරන්නට ඇතැයි තමා සිතන බව ප්‍රකාශ කළේය.

'නොයෙක් ආකාරයේ රාජ්‍ය විරෝධී සංවිධාන සහ දේශපාලනඥයන් මේ දවස්වල රජය අපහසුතාවයට පත් කරලා රටේ ඉදිරි ගමන, පරිපාලනය අඩපණ කරන්න - කඩාකප්පල් කරන්න උත්සාහ දරනවා. ඒක නිසා ජනාධිපතිතුමාට හිතෙන්න ඇති රටේ ඉදිරි ගමන පවත්වා ගෙන යාමට සූදානම් විය යුතුය කියල' ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇමතිවරයා පවසයි.