ජීඑස්පී: "යුරෝපයට ඕන විදිහට වැඩ කරන්න බැහැ"

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

යුරෝපා සංගමයට ලබා දුන් පොරොන්දු ඉටු කොට නොමැති බැවින් ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය ලබා නොදෙන මෙන් යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

අදාළ යෝජනාව ලබන බදාදා සහ බ්‍රහස්පතින්දා යුරෝපා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත අතර, එය සම්මත වුවහොත් ශ්‍රී ලංකාවට මේ වසරේ ජීඑස්පී ප්ලස් සහනය අහිමිවීමේ අවදානමක් මතු වී තිබේ.

ලබන මැයි 15 වෙනිදාට පෙර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම යුරෝපා සංගමයේ ප්‍රධානම ඉල්ලීම් අතර වේ.

මේ මාසය මුලදී අගමැති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කළ යුරෝපා සංගමයේ මන්ත්‍රීවරුන් පිරිසක්:

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිය ඉවත්කිරීම
  • අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම
  • වැරදිකරුවන්ට දඬුවම් නොකිරීම සහ වද බන්ධන පැණවීම පිළිබඳව පියවර ගැනීම
  • සමලිංගික සේවනය නීති විරෝධී බව දැක්වෙන වගන්තිය ඉවත්කිරීම

යන පොරොන්දු ඉටුකිරීමට ආණ්ඩුව වහාම පියවර ගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දී තිබුණු නමුත් අගමැතිවරයා මෙතෙක් ඒ පිළිබඳව නිල ප්‍රතිචාරයක් පළ කොට නොමැත.

මන්ත්‍රීවරු පිරිස යුරෝපා පාර්ලිමේන්තුවට සිය යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ ඉන් අනතුරුවය.

ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිචාරය කුමක්ද?

GSP+ අහිමිවීමේ අවදානමක්?

අගමැති රනිල් වික්‍රමසිංහ යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටසක් සමග (සංරක්ෂිත ඡායාරූපයක්)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අගමැති රනිල් වික්‍රමසිංහ යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටසක් සමග (සංරක්ෂිත ඡායාරූපයක්)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට වෙනත් පනතක් ගෙන එන බව ආණ්ඩුව මීට ඉහතදී පැවසීය.

ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමක දී කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ හදිසි නීතිය ඉවත් කර ඇති වාතාවරණයක රටේ යම් ත්‍රස්තවාදී ක්‍රියාවක් ඇති වුවහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගත හැකි පනතක් රට තුළ තිබිය යුතු බවය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට කෙටුම්පත් කරමින් පවතින නව පනත අදාළ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝපා සංගමය ලබා දී ඇති කාල සීමාවට පෙර ක්‍රියාත්මක කිරීමට හැකි වේදැයි යන්න නිශ්චිත වශයෙන් කිව නොහැකි බවත් ඇමතිවරයා සඳහන් කළේය.

අදාළ කාලයට පෙර යෝජනා ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් සහනය අහිමිවීමේ අවදානමක් පවතිනවා නොවේදැයි ඇමතිවරයාගෙන් විමසූ අවස්ථාවේ ඔහුගේ ප්‍රතිචාරය වූයේ "ඒක පාඩුවක්. ඒත් ඔය පාඩුව අවුරුදු ගණනාවක සිට සිදු වුනානේ. ඒ පාඩුව විඳිමින් මේ රට ඉදිරියට ගියානේ," යනුවෙනි.

"ජාතිවාදීන්"

දණ්ඩනීති සංග්‍රහයේ අඩංගු ඇතැම් කොටස් මේ වන විටත් සංශෝධනය කර ඇති බව කී ඇමතිවරයා එය තවදුරටත් සංශෝධනය වෙමින් පවතින බවත් පැවසීය.

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීමට අදාළ පනත සම්මත වී ඇතත් එම කාර්යාලය මෙතෙක් පිහිටුවා නොමැත.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේ ජාතිවාදී කොටස් සිය දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දරන බැවින් ඇතැම් කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුවට ක්ෂණිකව ක්‍රියාත්මක විය නොහැකි බවය.

ඇඟලුම් කර්මාන්තය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පැවති පාලනය මෙන්ම වත්මන් පාලනය යටතේ ද වරදකරුවන් නීතියෙන් බේරී සිටීම සහ තවදුරටත් සිදුවන බව පැවසෙන වධබන්ධන සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳවත් යුරෝපා සංගමයේ අවධානය යොමුව තිබේ.

සමලිංගිකත්වය

ඒ පිළිබඳ අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේ පවතින ක්‍රමයේ තිබෙන දුර්වලතා හේතුවෙන් නීති ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද වී ඇති බවය.

line
line

එමෙන්ම දණ්ඩනීති සංග්‍රහයේ අඩංගු සමලිංගික සේවනය නීති විරෝධී බව දැක්වෙන වගන්තිය ඉවත් කළ යුතු බවත් යුරෝපා සංගමයේ යෝජනාවලට ඇතුළත්ය.

ඒ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ "මොකටද? මේ යුරෝපය නෙවෙයිනේ. යුරෝපය කියන දේවල් මේ රටේ කරන්න බැහැනේ. යුරෝපයේ තියන සංස්කෘතිය නෙමෙයි මේ රටේ තියෙන්නේ," යනුවෙනි.

සමලිංගික සේවනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන්නේ අධිරාජ්‍යවාදී සමයේ බ්‍රිතාන්‍යය පැන වූ නීතියක් බව බීබීසී සිංහල සේවය පෙන්වාදුන් විට අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ "දේශපාලනය කරන්න ඕන අපේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය දේවල් අනුව. එහෙම නැතුව යුරෝපයට අවශ්‍ය විදිහට නොවෙයි," යනුවෙනි.