හයිබ්‍රිඩ් අධිකරණයක් පිහිටුවන්න - මහ කොමසාරිස් යළි අවධාරණය කරයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අතීතයේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් වගවීම ක්‍රියාත්මක කිරීම සඳහා විදේශීය විනිසුරුවන්ගෙන් සමන්විත හයිබ්‍රිඩ් හෙවත් දෙමුහුන් අධිකරණයක් පිහිටුවිය යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය යළිත් වරක් ශ්‍රී ලංකා ආණ්ඩුවට නිර්දේශ කරයි.
වගවීම ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් මූලෝපායයක් නොමැතිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමය, සංහිඳියාව සහ ස්ථාවරභාවය උදාකිරීම සඳහා මතු වී තිබෙන මහඟු අවස්තාව අහිමිවීමේ අවදානමක් පවතින බව ද මානව හිමිකම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය පවසයි.
ඒ බව සඳහන් වෙන්නේ, 2002 සිට 2011 දක්වා ශ්‍රී ලංකාවේ සිදු වූ 'බරපතල මානව හිමිකම් උල්ලංඝනයන්' සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය සිකුරාදා නිකුත්කළ වාර්තාවකය.
එහෙත් අදාළ විමර්ශනය සඳහා විදේශීය විනිසුරන් සම්බන්ධ කරනොගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිහිපවතාවක්ම අවධාරණය කළේය.


'බරපතල මානව හිමිකම් උල්ලංඝනයන්'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වගවීම සම්බන්ධයෙන් පියවර ගැනීමට වඩා මේ මොහොතේ අවශ්‍යව තිබෙන්නේ නව ව්‍යවස්ථාව හඳුන්වාදීම බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද පසුගියදා සඳහන් කළාය.
මානව හිමිකම් ක්ෂේත්‍රයේ සහ ව්‍යවස්ථාමය සංශෝධන විෂයයෙහිලා ශ්‍රී ලංකාව ප්‍රගතියක් දක්වා තිබෙන බව පිළිගන්නා එක්සත් ජාතීන්ගේ වාර්තාව, කෙසේ නමුත් සංක්‍රමනීය යුක්තිය ඉටුකිරීම සඳහා වූ ක්‍රියාමාර්ග සහ ආයතන පිහිටුවීම විෂයයෙහි ලබා ඇති ප්‍රගතිය ඉතා මන්දගාමී බවත් සඳහන් කරයි.
පසුගිය සඳුදා මානව හිමිකම් මණ්ඩලයේ 34 වැනි සැසිවාරය අමතා අදහස් පළ කළ විදේශ අමාත්‍ය මංගල සමරවීර 'සත්‍යය සෙවීමේ කොමිසමක්' පත්කිරීම සම්බන්ධ පනත් කෙටුම්පත ඉදිරි මාස දෙක ඇතුළත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සඳහන් කළේය.
එමෙන්ම ඉදිරි මාස තුන ඇතුළත අතුරුදහන්වූවන් සම්බන්ධ කාර්යාලය පිහිටුවීමට හැකිවනු ඇතැයි ජිනීවා නුවර සිට බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ ශ්‍රී ලංකා දූත පිරිසේ නියෝජිත මනෝ තිත්තවැල්ල සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පරිවර්තනීය යුක්තිය ඉටුකිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක කාලයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමින් බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය සමග එක්ව මානව හිමිකම් මණ්ඩලයට නව යෝජනාවක් ඉදිරිපත් කරන බවත් සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ මහ ලේකම් මනෝ තිත්තවැල්ල බීබීසී යට පැවසීය.
එහෙත් දේශපාලන පක්ෂ අතර පවතින කඹඇදීම් හේතුවෙන් වගවීම වැනි දුෂ්කර කරුණු සම්බන්ධයෙන් පියවර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අදිමදි කිරීමේ ස්වභාවයක් දක්නට ලැබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිරීක්ෂණයයි.


ආණ්ඩුව විසින් පත්කරන ලද සංහිඳියා යාන්ත්‍රණ සඳහා වූ ප්‍රවිචාරන කාර්ය සාධක බලකායේ මහජන අදහස් විමසීමේ ක්‍රියාවලිය මහකොමසාරිස්වරයාගේ විශේෂ ප්‍රසංශාවට ලක් වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
7000 කට අධික ශ්‍රී ලංකා පුරවැසියන්ගේ අදහස් විමසා කාර්ය සාධක බලකාය විසින් සකස් කරන ලද වාර්තාවේ නිගමණ ක්‍රියාවට නගන මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට නිර්දේශ කරන මහකොමසාරිස්වරයාගේ කාර්යාලය, තවත් ප්‍රධාන නිර්දේශ කිහිපයක්ම ඉදිරිපත් කර තිබේ.

මහකොමසාරිස්වරයාගේ නිර්දේශ අතර:
- සංහිඳියා ක්‍රියාදාමය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාදාමයක් දියත් කිරීම
- මහකොමසාරිස්වරයාගේ කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා ආරාධනා කිරීම
- හමුදාව විසින් අත්පත්කරගෙන සිටින පුද්ගලික ඉඩම් යළි භාරදීමට ප්‍රමුඛත්වය දීම
- පොලිසිය, හමුදාව සහ බුද්ධි අංශවලට එරෙහිව එල්ලවන වදබන්ධන පැනවීම් සහ ලිංගික හිංසන චෝදනා විභාගකොට දඬුවම් කිරීම
ශ්‍රී ලංකාව සම්බන්ධ මහකොමසාරිස්වරයාගේ වාර්තාව ලබන මාර්තු 22 වෙනි දින මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.








